"ඔබට
සැප ලබාදෙන කුසල් සංස්‌කාරයන් මෙන්ම දුක ලබාදෙන අකුසල් සංස්‌කාරයන්ද විපාක
දී අවසන් වෙනවා. ඔබ මේ ජීවිතයේදී සැප ලබනවාය කියන්නේ ඔබම රැස්‌කරපු දෙය
ගෙවෙනවාය කියන කාරණයයි. එම සැප ලබන්න ලබන්න ඒවා (කුසල් සංස්‌කාරයන්)
ක්‍ෂයවී යනවා. ක්‍ෂය වන දෙය ඔබ නැවත නැවත රැස්‌කළ යුතුයි. එසේ නැතිවුවහොත්
නැවත ලබන ජීවිතයේදී ඔබ හීන, දීන භාවයට පත්වෙනවා. එබැවින් "අපි පව් කරන්නේ
නැති නිසා පිං කරන්න අවශ්‍ය නැහැ" ය කියන මුසාවාදය,
මිත්‍යාදෘෂ්ඨිය ගැන පිංවත් ඔබ පරෙස්‌සම් වන්න. නැවත නැවත පිංකම්
සිදුකරමින් ගෙවී යන කුසල් සංස්‌කාරයන් තව තව වඩවා ගන්න. පිංවත් ඔබ
අත්විඳින්නා වූ අකුසල් සංස්‌කාරයන්ගේ විපාකයන්ද, දුකද නැවත නැවත පිංකම්
සිදුකරමින් රැස්‌කරන්නාවූ කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තියෙන් යටපත් කර නැගී
සිටින්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මොහොතේ
පිංවත් ඔබගේ දෑසින් කඳුලක් ගලනවා නම්, ඒ ඔබ පෙර ජීවිතයේදී අනුන්ගේ
ජීවිතයකට කඳුලක් දුන් නිසාමයි කියලා. ඔබ මේ මොහොතේදී සතුටින් සිනාසෙන්නේ
නම් ඒ පෙර ජීවිතයේදී ඔබ අනුන්ට සතුටක් දුන් නිසාමයි කියලා. එසේ නම් පිංවත්
ඔබගේ සිනහවටත් කඳුලටත් හේතුව ඔබගේ අතීත සංස්‌කාරයෙන්ගේ ඵලයයි. මෙසේ
විවේකීව, හේතුඵල ධර්මයන්ට අනුව ජීවිතය දකින්න. මේ දැකීම ඔබට අත්‍යවශ්‍යයි,
ධර්මය කෙරෙහි අචල සද්ධාව සකස්‌කර ගන්න. මේ ධර්මතාවයන් ගැන විශ්වාසයක් නැති
මනුෂ්‍යයා නැවත මනුෂ්‍ය ජීවිතයක් ලැබූවත් මිත්‍යදෘෂ්ඨික භාවයට පත්වෙනවා.
ඊට අමතරව කර්මය කර්මඵල ගැන විශ්වාසයක් නැති නිසා, දානය කෙරෙහි ඇති
උදාසීනභාවය නිසා දුප්පත්වෙලයි උපත ලබන්නේ. මෙහෙම උපතක් සකස්‌කරගත්
මනුෂ්‍යයෙක් ගැනයි පහත සටහන.
මොහු මධ්‍යම පංතික ජීවිතයක් ගතකළ
මහත්මයෙක්. විවාහවෙලා දරු මුණුබුරන් සිටියා. මොහු කවදාවත් සිල් සමාදන්වුණේ
නැහැ. දන් දෙන්න ගියේ නැහැ. මොහුගේ දර්ශණය වුනේ "මම වැරදි කරන්නේ නැහැ. එම
නිසා මට පිං කිරීමට අවශ්‍යතාවයක් නැහැ" කියන එකයි. මේ කෙනා මනුෂ්‍යයන්ට
උපකාර කළා. ඒත් කර්මය කර්මඵල ගැන විශ්වාසයෙන් නොවෙයි. එම නිසා ඔහු කළ යහපත්
දේවල් හුදු ඒ මොහොතේ සතුට ලැබූ ක්‍රියාවන් පමණක් වුණා. මේ මනුෂ්‍යයා
අවුරුදු 65 ක් පමණ ජීවත්වී මියයනවා. මොහුගේ මරණින් පසුව භික්‍ෂුවක් උතුම්
සමාධියෙන් අරමුණුකර බලනවා මොහු කිනම් තැනක නැවත උපත සකස්‌කරගත්තාද කියලා.
එවිට භික්‍ෂුවට දර්ශනය වන්නේ දුප්පත් පැල්පතක උපත ලබා සිටින කළු පැහැති
දරුවෙක්. පෙනුමෙන් භික්‍ෂුව අනුමාන කළේ ඒ ද්‍රවිඩ දරුවෙක් බවයි. ඒ
කියන්නේ මේ මනුෂ්‍යයා තමන් අකීකරුභාවයෙන් ගත් දෘෂ්ඨිය නිසා සම්මා සම්බුද්ධ
ශාසනය අහිමිකරගත් බවයි. දැන් මොහු මිත්‍යාදෘෂ්ඨිකභාවයට පත්වී අවසන්. මේ
විනාශයෙන් මොහු කවදා ගොඩ එන්නද? එය දැන් සිහිනයක් පමණයි. මේ සා අර්ථවත්
වටිනා දහමක හිමිකරුවෙක්‌ව ඉපදිලා, තම තමන්ට ඕනෑ ආකාරයට ධර්මය ගලපාගැනීමට
යාම නිසා මොහු සම්මා සම්බුද්ධ ශාසනය අහිමිකර ගත්තා. ලොව්තුරා බුදුරජාණන්
වහන්සේ අවබෝධයෙන් දේශනාකර වදාළ ධර්මය පිංවත් ඔබ විසින් ඔබේ දෘෂ්ඨීන්ට අනුව
අර්ථ දක්‌වන්න යන්න එපා. එහෙම වුණොත් එහි විපාකය ඔබට ශාසනය අහිමිවී
මිත්‍යාදෘෂ්ඨිකභාවයට පත්වීමයි.
පිංවත් ඔබට පෙනෙනවා ශාසනයේ
අර්ථයන් බෙහොම වේගයෙන් අතුරුදන් වෙමින් යන ස්‌වභාවය. ධර්මයේ සන්දිට්‌ඨික
ගුණය ගැන වර්තමානයේ බොහොම අඩුවෙනුයි කථා කරන්නේ. ධර්මයේ අර්ථය වන චතුරාර්ය
සත්‍යය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන "දුක" වෙනුවට "සැප" කියන කාරණය දකින්න
කැමැති ප්‍රවණතාවක් සමාජය තුළ තිබෙනවා. මේ ප්‍රවණතාවය වැඩිවෙන්න වැඩිවෙන්න
අපි මොකක්‌ද ලෝකය තුළ දකින්නේ? ඒ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවීම. තෙරුවන්
කෙරෙහි සද්ධාවෙන් තොරව දෘෂ්ඨීන්, මතවාද කරපින්නාගත් බෞද්ධයන්ගේ වැඩිවීම.
මේවා කම්පාවිය යුතු දේවල් නොවේ. හේතුඵල ධර්මයන්මය. ධර්මයේ සැබෑ අර්ථයට
පිටුපාන සම්බුද්ධ දේශනාවන් වැරදි ආකාරයට අර්ථ දක්‌වන කිසිම ගිහි පැවිදි
පිංවතකුට මේ ජීවිතයෙන් පසු ශාසනයේ රැකවරණය උරුමවෙන්නේ නැහැ.
මිත්‍යදෘෂ්ඨිකභාවයේ අඳුර රැඳි භව ගින්දරයි උරුම වෙන්නේ. "
සම්පූර්ණ ලිපි මාලාව මෙතනින් --> http://bit.ly/19oqRL3
No comments:
Post a Comment