Saturday, April 26, 2014

දබ්බමල්ලපුත්ත හිමි අමූලික බොරු චෝදනා චෝදනාවට ලක් වීමට හේතුව




දබ්බමල්ල පුත්ත හිමි සත් අවුරුදු වියේදී පැවිදි වී රහත් වූ අතර උපන් දා සිට සිහිනෙනුදු මෛථූන ධර්මයෙහි යෙදී නැත. නමුදු මෙත්ථියා මෙහෙණ තමා දූෂණය කළේ යැයි බුදුරජුන් හමුවේ පවා බොරු චෝදනා කළා ය. සවඟ භික්ෂූන් සඟ පිරිස මැද ළාමක හැසිරීම් සම්බන්ධව බොහෝ චෝදනාවන් එල්ල කළහ. එසේ අභූත චෝදනාවට ලක් වීමට හේතුව මුන් වහන්සේ පෙර විපස්සී බුදු සුසුනේදී පිරිසිදු සිල් ඇති භික්ෂූන් වහන්සේ නමකට උන්වහන්සේ පිරිසිදු භික්ෂුවක් යැ යි දැන දැන ම අමූලික චෝදනාවක් කොට නින්දා කල බැවින් බව අපදාන පාළියෙහි දැක් වේ.

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!

පෙර ලිපි : http://goo.gl/GSpvB9

#PathtoNirvana #Karma #Buddhism

අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි



මහ නායක හාමුදුරුවනේ,
එක කල්පයක් තුළ පමණක් මෙලෙස ඉපදි ඉපදී මැරි මැරී යන එක් අයකුගේ ශරීර ඇටසැකිලි කොටස්වල ප්‍රමාණය කොපමණ වෙයිද ?

ඔව්, එක කල්පයක් තුළ වුණත් අපි විවිධ ආත්මභාව ලබා උපන් ශරීරවල ඇට සැකිලි කොටස් මේ විශ්වය පුරා විසිර තිබිය හැකියි. ඒ අතරින් ඔබේ හෝ වෙන කෙනෙකුගේ හෝ එම පූර්ව ආත්මවල ශරීර කොටස් නූතන ඩී. එන්. ඕ. තාක්‍ෂණයෙන් හරි, මෝහණ විද්‍යාවෙන් හරි සොයා හඳුනාගත හැකි නම්, ඒවා එකතු කර ගොඩක් ගැහුවොතින් ඔබ පුදුම වනු නියතයි. ඒ තරමටම ඔබ විවිධ ආත්මභාවවල ඉපද ඉපදී මැරි මැරී යනවා.

මෙලෙස අපි විවිධ ආත්මභාව ලැබ උපන් ශරීරවල ඇට සැකිලි ඇසුරෙන් කල්පයක විශාලත්වය පිළිබඳව අප ගෞතම බුදු රදුන් ද පෙන්වා දී තිබෙනවා. ඒක සූත්‍ර පිටකයට අයත් ඛුද්ධක නිකායෙහි එන කුඩා ග්‍රන්ථ 15 න් එකක් වන “ඉතිවුත්තක” කථා පෙළෙහි විස්තර කර ඇත්තේ මෙසේයි.

“එක් කල්පයක් තුළ රැස් කරන ලද එක් පුද්ගලයකු උපන් ජාතීන්ගේ (ආත්මභාවයන්හ) ශරීරවල ඇටසැකිලි සමූහය එක් කළ (ගොඩ ගැස) විට රජගහනුවර මේ වේපුල්ල පර්වතයට සමාන වෙනවා”

වේපුල්ල පබ්බත හෙවත් පර්වත කන්ද කියන්නේ අසල්වැසි දඹදිව රජගහනුවර පිහිටි ප්‍රධාන කඳු පහ (05) අතරින් විශාලම කන්දටයි. ඉතින් අප එක කල්පයක් තුළ පමණක් එපමණ ආත්ම ගාණක් ඉපදී මැරෙනවා.

සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවරදීම ඊට පෙරත් අප බෝසතුන් ශරීරය අතැර ගොස් තිබෙනවා ද ?

ඔව් උන්වහන්සේ කුසිනාරාවේදී අවස්ථා කිහිපයකදීම ශරීර නික්‍ෂෙපය හෙවත් සිරුර අතහැර යාම (පොළවට බහාලීම) සිදු කර ඇති බව “මහා සුදස්සන සූත්‍රයෙහි” දැක්වෙනවා. දීඝ නිකායට අයත් 17 වන සූත්‍රය ලෙස සැලකෙන මෙම “සුදස්සන සූත්‍රයෙන්” මෙබඳු විස්තරයක් කර තිබෙනවා.

‘කුසිනාරා නුවර උපවත්තන සල් උයනේදී ආනන්ද තෙරුන් බුදු රදුන් වෙත ගොස් මෙසේ කීය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කුඩා නුවරක් වූ නොසම නුවරක් වූ ශාඛා නගරයක් වූ මේ කුඩා කුසිනාරා නුවර පිරිනිවන් නොපාන සේක්වා.”

“ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නගරයයි, මෙසේ නොකියව, පෙර කාලයක අභිෂේක ලැබුවාවූ ක්‍ෂත්‍රිය වංශයෙහි උපන් මහා සුදස්සන නම් රජෙකු මෙහි විය. ඔහුගේ මේ කුසාවතී නමැති පුරාණ රාජධානිය සියලු සම්පතින් සමෘද්ධිමත්ව පැවතිණ.

ආනන්දය, සංස්කාරයන්ගේ අනිත්‍යතාව බලව. සියලුම ඒ සංස්කාර ධර්මයෝ ඉකුත් වූහ. නිරුද්ධ වූහ. විනාශ වූහ.

ආනන්දය, මම වනාහී මේ ප්‍රදේශයෙහි මීට පෙර හය වාරයක්ම ශරීරය නික්‍ෂෙපය (සිරුර අතහැරීම) කළ බව දනිමි. ඒ වනාහි ධාර්මික වූ ධර්මරාජයන් වූ චක්‍රවාළය (සක්වළ) කෙළවර කොට ඇති සතර මහාද්වීපය ජය ගත්තා වූ ජනපදයන්හි ස්ථිරභාවයට පැමිණියා වූ සප්තවිධ රත්නයෙන් යුක්ත වූ සක්විති රජ කාලයන්හිමය. මේ මාගේ සත්වෙනි ශරීර නික්‍ෂෙපය (සිරුර අතහැරීම) වන්නේය.

ආනන්දය, දෙවියන්, මරුන්, බ්‍රහ්මයන් සහිතවූ දෙව් මිනිසුන් සහිත වු ලෝකයෙහි (සක්වළෙහ ) යම් තැනක්හි තථාගත තෙම (බුදුන් ) අටවෙනි වර ශරීර නික්‍ෂෙපය (ශරීර කොටස් දැමීම) කරන්නේ ද එබදු වූ ප්‍රදේශයක් කිසිම සක්වළක මම නොදක්නෙමි යි “ වදාළ සේක.

එතකොට, අද සිටින සිත දියුණු කළ භාවනා යෝගීන්ට වුණත් මේ කල්පය තුළ තමන් උපන් අතීත ආත්මභාව දකින්න බැරිද?

දැන් ඔබ හිතලා බලන්න. අපේ ගෞතම බෝසතාණන් වහන්සේ එකම නගරයක් තුළ හත් (07) වතාවක්ම ඊට ආසන්න විවිධ ආත්මභාවවල ඉපදී ශරීරය අතහැර ගියා නම්, අපි කල්පයක් තුළ විවිධ තැන්වල අපේ ශරීරවල ඇට කටු ඉතිරි කර මැරි මැරී යන්නට ඇතිද ? අපේ භවයේ (සසර) ඇති දිගු බවත් කල්පයක පවතින දීර්ඝ බවත් බුදුහාමුදුරුවෝ තවත් තැනක මෙලෙස විග්‍රහ කර තිබෙනවා.

“මහණෙනි, තමන්ගේ අතීත ජාති (පූර්ව ආත්ම) සිහිපත් කළ (ස්වයං මෝහනය) හැකි වන සේ “ පුබ්බේනිවාසානුස්සති ඤාණය” ලැබූ මහා ශ්‍රාවකයන් සතර නමක්, වෙනත් සියලුම කටයුතු නවතා දමා ඉතා වේගයෙන් ඔවුහු පෙර ජාති (ආත්ම) සිහි කරන්නාහු, එහි එක දිනකට එක කල්පයක ජීවිත සිහිපත් කොට අවසන් කළහොත්, මේ ලෙසින් අවුරුදු සියයක් ගත කිරීමට උන් වහන්සේලාට හැකි වුවත්, උන්වහන්සේලාගේ සියලු කාලය ගෙවී අවසන් වන්නේ මුල (ආරම්භය) නොදැකමයි.”

එහෙමනම්, සක්වළේ හටගත් විවිධ කල්පවලින් යම් යම් වෙනස්කම් පවතිනවාද ?

එහෙමනම්, සක්වළේ හටගත් විවිධ කල්පවලින් යම් යම් වෙනස්කම් පවතිනවාද ?

ඔව්, හැම කල්පයක්ම එකිනෙකට වෙනස් වෙනවා. දැන් අපි මේ ගත කරන්නේ මහා භද්‍රකල්පයකයි. ඉනික්බිතිව, නිර්මාණය වෙන්නේ බුද්ධ ශූන්‍ය කල්පාවලියක්. ඒ කියන්නේ මේ භද්‍ර කල්පයේම මතු බුදුවන මෛත්‍රී බුදුන්ගෙන් පසු කල්ප ගණනාවක් ඉදිරියට බුදුවරු පහළ වෙන්නේ නැහැ. බුදුවරු පහළ නොවන මිසදිටු අඳුරින් පිරුණු කල්ප ශුන්‍ය කල්ප ලෙස හැඳින්වෙනවා. මේ වගේ බුද්ධොත්පාද කාල අශූන්‍ය කල්ප වශයෙන් දැක්වෙනවා. මෙම අශූන්‍ය කල්ප සාර, මණ්ඩ, වර, සාරමණ්ඩ හා මහා භද්‍රකල්ප යනුවෙන් වර්ග කෙරෙනවා.

(1) මිස දිටු ශුන්‍ය කල්පයකට වඩා සාරගුණ උපදින කල්පය “සාර කල්පය” යි. මිථ්‍යා දෘෂ්ටියෙන් තොරවූ සාර කල්පය ශූන්‍ය කල්පවලට වඩා ගුණධර්මවලින් සාර වෙනවා.

(2) කන් දෙකටම කණ්ණාභරණ පැළැදීමෙන් මනා ලෙස සැරසිය හැකි ලෙස බුදුවරුන් දෙදෙනෙකු එක කල්පයක් තුළ පහළ වීමම ලොවට බුද්ධ මණ්ඩපයක් වැනියි.

(3) අසිිරිමත් බුදු උපත් තුනක වර, ලැබීමෙන් වර කල්පයේ මිනිසුන් බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙහි පළමුව පහළ වන බුදුන් මීළඟ බුදුන්ගේ ගුණත්, දෙවනුව පහළ වන බුදුන් තෙවැනි බුදුන්ගේ ගුණත් පවසනවා. එමගින් බුදුගුණ රැසක් ඇසීමට වර කල්පයේ මිනිසුන්ට වරයක් (භාග්‍යයක්) ලැබෙනවා.

(4) මේ සියලු කල්පවල උපත ලැබුවාට වඩා ඉතා අතිශය යහපත සලසාගත හැකි කාලය භද්‍ර කල්පයේදී අවස්ථාව සැලසෙනවා. මේ භද්‍ර කල්පයට වඩා බුද්ධාදින්ගෙන් සැරසුණු අනෙක් කල්පයක් තවත් ඇත්තේ නැහැ. ලෝකයට භද්‍ර කල්පයක් උදාවීම යනු “නුග දිඹුල් රුක්වල මල් හට ගැනීමක්” මෙන් අති දුර්ලභ කාලයක්. භද්‍ර කල්පයක උපත ලද හුඟ දෙනෙකුට බුදු, පසේ බුදු, මහ රහත් උතුමන්ගේ ඇසුර ලැබීමට හා එම උත්තරීතර දහම් කරුණු දැන ගැනීමට මඟ සැලසෙනවා.

අවසරයි හාමුදුරුවනේ, නිවන කියන්නෙ කුමක්‌ද? යන තැනින් අපි කතාව පටන්ගමු?




සමහරු කල්පනා කරන්නෙ නිවන කියන්නෙ යම්කිසි ස්‌ථානයක්‌ කියලා. ඇත්තටම නිවන කියල කියන්නෙ කුමක්‌ද කියන එක බොහෝ දෙනකුට ප්‍රශ්නයක්‌. නොදන්නාකම නිසා විවිධ වැරදි අර්ථකථන නිවන හෙවත් නිර්වාණය සම්බන්ධයෙන් ලබාදෙනවා.

සමහරු කියන්නේ සිත නිවිල යැම නිවනයි කියලා. ගෙවල්වල ප්‍රශ්න නැතුව ඉන්නව නම් එතන නිවන තියනවා කියලා තවත් සමහරු කියනවා. පාලියෙන් නිවනට කියන්නෙ "නිබ්බාන" කියලා. සංස්‌කෘතියෙන් කියන්නේ "නිර්වාණ" කියලා. "මාපා" කියන්නෙ තෘෂ්ණාවට හෙවත් ආශාවටයි. "නිර්" කියන්නෙ මිදීමටයි. විනිර්මුක්‌ත වීමටයි. එහෙමනම් තෘෂ්ණාවෙන් මිදීමට තමයි නිවන කියල කියන්නෙ. 

වෙනස්‌ වචනවලින් කියනව නම් සියලු කෙළෙසුන්ගෙන් නිදහස්‌ වීමයි. නැතිනම් දස සංයෝජන වන සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ඡ, අවිඡ්ජා දුරු කිරීමයි.

ඇත්තෙන්ම නිවන කියන්නේ අවබෝධයක්‌ මිසක්‌ ස්‌ථානයකට යැමක්‌ නොවෙයි. නිවන සාක්‍ෂාත් කළ ආර්ය ශ්‍රාවකයා පහන් දැල්ල නිවී යන්නේ යම්සේද ඒ අයුරින් නිවී යනවා. කාම ලෝකයක රූප ලෝකයක, අරූප ලෝකයක උප්පත්තියක්‌ කරා යන්නේ නෑ. (තිබ්බන්ති ධීරා යථායං පදීපො)

නිවන අවබෝධ කරගන්නේ කොහොමද?

ඒ සඳහා ප්‍රධාන කරුණු හතරක්‌ වැදගත් වෙනවා. ප්‍රධානම එක තමයි කල්‍යාණ මිත්‍ර සේවනය. ඊළඟට සද්ධර්ම ශ්‍රවනය. ඊළඟට යෝනියෝ මනසිකාරය. හතරවැනි එක තමයි ධම්මානුධර්ම ප්‍රතිපදාව. කල්‍යාණ මිත්‍ර සේවනය නිසා කෙනකුට බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනවා. එතකොට ඒ කෙනාට පුළුවන් ශ්‍රද්ධාව දියුණු කරගන්න. එතකොට ශ්‍රාවකයා ශ්‍රද්ධානුසාරී කෙනෙක්‌ වෙනවා. ඒ වගේම ඒ ශ්‍රාවකයා ශ්‍රද්ධානුසාරී කෙනෙක්‌ වෙනවා. ඒ වගේම ඒ ශ්‍රාවකයා ධර්මය ඉගෙනගෙන ධම්මානුසාරී කෙනෙක්‌ වෙල. මේ ධර්ම මාර්ගය තුළ ඉදිරියට ගමන් කරනවා. එයාට ශ්‍රී සද්ධර්මය ඇහෙනකෙට යෝනියෝ මනසිකාරය ඇතිකරගන්න පුළුවන්. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්න දුක්‌ දේ දුක්‌ වශයෙන් දකින්න. අනාත්ම දේ අනාත්ම වශයෙන් දකින්න පුළුවන් වෙනවා. එතකොට ඒ ශ්‍රාවකයා මේ ධර්මය තමන්ගෙ ජීවිතයට බද්ධ කරගෙන ඒ උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා. එවිට නිවන සාක්‍ෂාත් කර ගන්න පුළුවන්. පිළිවෙළින් සෝතාපත්ත, සකුදාගාමී, අනාගාමී, අර්හත් තත්ත්වයට පත්වෙන්න පුළුවන්.

මේ ජීවිතයේදීම නිවන අවබෝධ කරන්න පුළුවන්ද?

මේ ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක්‌. අපේ රටේ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයන් අතර තිබෙන හිස්‌ මතයක්‌ තමයි අපිට මේ ජීවිතයේදී නිවන අවබෝධ කරගන්න බෑ කියන එක. ධර්මය පිළිබඳ වන්දනා කරන ගාථාවේ (සාක්‌ඛාතෝ භගවතා ධම්මෝ) දෙවනුවට විස්‌තර කරන්නෙ මේ ධර්මය "සන්දිට්‌ඨික" යි කියලා. ඒ කියන්නෙ මේ ජීවිතයේදීම අවබෝධ කරන්න පුළුවන් කියා. "අකාලික" යි කියන්නෙ ඕනෑම කාලයක එය කරන්න පුළුවන් කියා.

ඒ වගේම "කරණීය මෙත්ත" සූත්‍රයේදී පෙන්වා දෙන්නෙ නිවන සාක්‍ෂාත් කිරීමට කැමැති ශ්‍රාවකයා තුළ ලක්‍ෂණ 15 ක්‌ තිබිය යුතු බවයි. ඒවායින් පළමුවැනි එක තමයි "සක්‌කෝ" කියන්නේ. ඒ කියන්නෙ "මට පුළුවන්" කියන අදහසයි. ශ්‍රී ලංකාවේ බෞද්ධයො ඉන්නෙ "මට බැහැ" කියා ගත්තු ගමන්. පංචකාමයට නම් පැනලා "හා" කියා ගත්ත ගමන්. ඉතින් කල්ප ගණනකින් ලෝකයට පහළ වෙන, සාරා සංෙඛ්‍යය කල්ප ලක්‍ෂයක්‌ පෙරුම් පුරලා සොයා ගත්තු ශ්‍රී සද්ධර්මය කියල දෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවේ ප්‍රතිඵල බොහෝ දෙනකුට ලබාගන්න බැරිවෙලා තියෙනවා. 

මේක පුදුම අවාසනාවන්ත තත්ත්වයක්‌. සමහර ලාංකික බෞද්ධයො මෛත්‍රී බුද්ධ ශාසනය පතමින් සම්බුද්ධත්වයට පත් වෙච්ච නැති ඒ උතුමන්ට දැන්මම පහන් දල්වමින්, ගෞතම බුදුරජාණන්වහන්සේට අගෞරව කරමින් සිටිනවා දැකීම අති ශෝචනීයයි. මෛත්‍රී බුදුරජාණන්වහන්සේ මේ ලෝකෙ පහළ වෙන්නෙ මිනිසාගේ ආයුෂ අවුරුදු 10 ට අඩුවෙලා අවුරුදු අසූදාහට (80,000) වැඩි වෙච්ච කාලෙදි. ඒකට තව අවුරුදු කෝටි ගණනක්‌ යන්න පුළුවන්. ඒ වෙනකොට අපි නිරයෙ, තිරිසන් ලෝකෙ, පෙරේත ලෝකෙ හිටියොත් මනුස්‌ස ලෝකෙ බිහිරි කෙනෙක්‌, මන්දබුද්ධික කෙනෙක්‌ වෙලා ඉපදුණොත් අපිට ඒ බුද්ධ ශාසනයත් අහිමිවෙලා යනවා. ඒ නිසා අපි මේ බුද්ධ ශාසනයෙන් උතුම් නිවන අවබෝධ කරන්න මහන්සි ගන්න ඕනෑ.

මේ ජීවිතයේදී නිවන අවබෝධයට ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්‌ ඕනද?

පළමුවෙන්ම බලන්න ඕන ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය කියල විස්‌තර කරගන්නෙ කුමක්‌ද කියලා. යම් කෙනෙක්‌ අලෝභය, අද්වේගය, අමෝහය මුල්වෙලා මේ මනුෂ්‍ය ලෝකෙ උප්පත්තියක්‌ ලබන එක තමයි මේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්‌ කියලා අර්ථවත් කරගෙන තියෙන්නේ. නමුත් මේ කතාව බුදුරජාණන්වහන්සේගෙ ශ්‍රී සද්ධර්මය සමඟ එකඟ වෙන්නෙ නැහැ. සූත්‍ර පිටකයේ 18,000 කට ආසන්න වූ සූත්‍ර එකකවත් මේ ජීවිතයේදී නිවන අවබෝධයට ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්‌ ඕන කියලා විස්‌තර කරලා නැහැ. අංගුත්තර නිකායෙ මේඝිය සූත්‍රයේදී ඉතා පැහැදිලිව දක්‌වල තියෙනවා මේ ජීවිතයේදී නිවන අවබෝධයට අවශ්‍ය කරුණු. එහිදී ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්‌ විස්‌තර වෙන්නෙ නැහැ.

මේඝිය සූත්‍රයේ විග්‍රහ වෙන කරුණු මොනවාද?

මේඝිය සූත්‍රයේදී විස්‌තර කරන්නෙ පළවැනි කාරණය හැටියට කල්‍යාණ මිත්‍ර සේවනය. දෙවනුවට සීලයයි. තුන්වනුව දසකතාව අවශ්‍යයි. එනම් අල්පේච්ඡ ජීවිතය ගුන කතාව, ලද දෙයින් සතුටුවීම ගැන කතාව, හුදෙකලා විවේකය ගැන කතාව, පිරිස හා එක්‌ නොවී සිටීම ගැන කතාව, පටන්ගත් වීර්යය ගැන කතාව, සීලය ගැන කතාව, සමාධිය ගැන කතාව, ප්‍රඥව ගැන කතාව, විමුක්‌තිය ගැන කතාව, විමුක්‌ති ඥන දර්ශනය ගැන කතාව යන ඒවායි. ඊළඟ කරුණ තමයි පටන්ගත් වීර්යයෙන් යුක්‌තව කුසල් ප්‍රහාණය කොට කුසල් වඩන්න ඕන. 

ඊළඟ කරුණ තමයි ප්‍රඥවෙන් යුක්‌ත වෙන්න ඕනෑ. ඉන් පසුව රාගය ප්‍රහාණය පිණිස අසූහයක්‌, තරහ නැතිවීම පිණිස මෛත්‍රියත්, විතක්‌ක නැතිකර දැමීමට අනාපානා සතියත්, මම වෙමි යන මානය මුලින්ම නැසීමට අනිත්‍ය පඤ්Æවන් වඩන්න ඕනෑ. අනිත්‍ය සඤ්ඤාව තිබෙන කෙනාට අනාත්ම සඤ්ඤාව පිහිටනව. 

අනාත්ම සඤ්ඤාව තිබෙන කෙනාට "මම" වෙමි යන මානය මුලින්ම නැතිවෙලා මේ ජීවිතයේදීම නිවන පසක්‌ වෙන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලි වෙනව ත්‍රිහේතුක ප්‍රතිසන්ධි කතාව බොරු මිත්‍යාවක්‌ බව. ඒ නිසා අපි පංචකාමයට හසු නොවී මාර වසඟයට පත් නොවී උතුම් නිවන සාක්‍ෂාත් කරගන්න කල්පනා කරගන්න ඕනෑ.

පොල්පිටිමූකලානේ පඤ්;ඤාසිරි නාහිමි

සැකසුම - අනුරාධ හිරිපිටියගේ
http://www.divaina.com/2009/11/02/pansala.html


සග්ගුරු තිලෝකගුරු - සබ්බසත්තානමග්ගගුරූ නේතාරේසු මහානේතා - බුද්ධං තං පණමාමහං....

සග්ගුරු තිලෝකගුරු - සබ්බසත්තානමග්ගගුරූ
නේතාරේසු මහානේතා - බුද්ධං තං පණමාමහං....

යහපත් ගුණ දහම් උගන්වන ගුරුවරයාණන් වහන්සේ වන සේක.
තුන් ලොවට ම නිවන් මග පෙන් වන තිලෝගුරු මුනිඳුන් වන සේක. 
සියලු සතුනට අග්‍ර වූ ගුරු දෙවිඳුන් වන සේක.
නිවනට පමුණුවන්න් අතරින් මහා නේතෘන් වහන්සේ වන සේක.
ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.


ශ්‍රී සද්ධර්මයෙන් කළ හැකි දේ…



පින්වතුනේ, පින්වත් දරුවනේ,
බුදුරජාණන් වහන්සේව දකින්නට තියෙන එකම ක්‍රමය නම් ධර්මය දැකීමයි. ඒ සඳහා ධර්මය නිවැරදි ලෙස ඉගෙනගෙන තිබිය යුතුයි. ඒ ධර්මය මනාකොට හදාරා නැති කෙනා හැමතිස්සේම ඉන්නේ බාහිර පුද්ගලයෙක්ව පිළිසරණ කරගෙනයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා තිබෙන්නේ, අප විසින් පිළිසරණය කරගත යුතු වන්නේ උන්වහන්සේගේ ධර්මය බවයි. ඒ ධර්මය තුළින් අපට හඳුනාගත හැකිවෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? යන වග, ශ්‍රී සද්ධර්මය නම් කුමක්ද? යන්න හා මහා සංඝරත්නය කවුද? යන වග. ඔය කරුණු හඳුනාගත් පසු අපට තේරුම් යනවා සංසාරය සකස් වෙන්නේ අපේ සිතේ බව. දුක සකස් වෙන්නේ ජීවිතය තුළින් බවත්, සකස් වෙන දෙයක් හෙයින් එය අනිත්‍ය බවත්, අනිත්‍ය දෙයක් වූ දුකෙහි සකස්වීම හේතුවක් අනුව සිදුවන්නක් බවත්, ඒ හේතුව නැති කිරීමෙන් දුක නැති කිරීමට පුළුවන් බවත් තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන ප්‍රායෝගිකව ධර්මයෙහි හැසිරෙමින් පුරුදු කරගෙන යද්දී, දුක ඇතිවෙන්නෙ මේ මේ ආකාරයටයි කියා තේරුම් යද්දි මේ දුක නැතිකර දාන්නට පුළුවන් කියන අදහස එනවා. තමන් අදහන ධර්මය තමන්ට විශ්වාස නම් විතරයි ඒ මතය ඇතිවෙන්නේ. මානසිකව බලවත් වෙන්නේ නිසැක භාවයට පත්වෙමින් යන ගමනකුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමවිටම ප්‍රකාශ කරනු ලබන කාරණයක් තමයි ‘ඒහිපස්සික…‘ ඇවිත් නුවණින් විමසා බලන්න.
උන්වහන්සේ ධර්මය දේශනා කළේ කුමක් සඳහාද? ‘සත්ථානං විසුද්ධියා‘ – සත්වයාගේ පිරිසිදු භාවය පිණිස, ‘සෝක පරිද්දවානං සමතික්කමාය‘ – සෝක කිරීම් වැළපීම් වලින් නිදහස් වෙන්නට, ‘දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය‘ – කායික මානසික දුක් දොම්නස් වලින් එතෙර වෙන්නට, ‘ඤායස්ස අධිගමාය‘ මේ ජීවිතයේ ස්වභාවය අවබෝධ කරගන්නට, ‘නිබ්බානස්ස සච්ඡිකිරියාය‘ – නිවන ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට යන කරුණු සඳහායි.
උන්වහන්සේ කිසිම තැනක දේශනා කොට නැහැ ධර්මය තියෙන්නෙ පෙරුම් පුරන්නටය කියා. උන්වහන්සේ පැහැදිලිවම කතා කළේ ප්‍රත්‍යක්‍ෂ කළ යුතු ධර්මයක්. උන්වහන්සේ පැහැදිලිවම දේශනා කොට තිබෙන්නේ මේ ජීවිතයේදී දකින්න පුළුවන් ධර්මයක්. ඒක පරලොවකදී දකින්න තියෙන එකක් නොවෙයි. ඒ නිසා එය නොපෙනෙන ලෝකෙකට කල් දාන්න එපා. මේ සමාජයේ තහවුරු වෙලා තියෙන්නෙ….. ‘අපි ඊළඟ ජීවිතයෙ කොහේ යයිද, මොනව වෙයිද දන්නෙ නෑ. ඒ නිසා පින් රැස් කරගන්න ඕන. ඒ පින් වලින් ආයෙම මිනිස් ලෝකෙට එන්න ඕන. තව තවත් පින් කරන්න ඕන. ආයිම මෙහේම ඉපදෙන්න ඕන….’ බලන්න මේක අවසානයක් වෙන්නෙ නෑ.
අප පැහැදිලිව දන්නවා නම්, මේ මිනිස් ලොව වැඩ සිටි රහතන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පරිපූර්ණ ආකාරයෙන් දකින ලද බව, එහෙනම් ඒක අදත් ඒ විදිහටම දකින්නට පුළුවන් විය යුතුයි. අදත් ඒ ධර්මයමයි තියෙන්නේ. මෙය මැරුණු ධර්මයක් නොවෙයි, ජීවමාන එකක්.
පින්වතුනි, මතක තියාගන්න, මේ මිනිස් ජීවිතය අපට කලාතුරකින් ලැබුණ දෙයක්. ඊළඟ ජීවිතයෙ කොහේ යයි දැයි නොදන්නා, අනතුරක් පවතින මේ සංසාර ගමනේ, කලාතුරකින් ලද මේ අවස්ථාවේදී පැහැදිලිවම අපේ මනස දියුණුව කරා ගෙනියන්න පුළුවන්කම තියෙද්දිත්, වැරදි මතවාද වලින් එය ආවරණය කර ගැනීම අප විසින් අපටම සිදුකර ගන්නා විශාල හානියක්. එහෙම හානියක් කර නොගෙන පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගය තුළ ගමන් කරමු. පෘථග්ජන පිරිස හැටියට නොමැරී මාර්ගඵලලාභීන් හැටියට ජීවිතය අවසන් කරමු….
මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!
හැම දෙනාටම තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය…!

මාරයා තවත් මුහුණකින්



ඉකුත් ලිපියේ සටහන් කළා මාරයා කුළුමීමකු ලෙසින් සමාධිය තුළ සිටින භික්‍ෂුව ඉදිරියට පැමිණි ආකාරය. මෙම සටහන් කියවා ඔබ සෙවිය යුත්තේ මේ අත්දැකීම ලද භික්‍ෂුව නොව, එම අත්දැකීම උරුමකර දුන් ධර්මයේ සන්දිට්‌ඨික ගුණයයි. ඔබ භික්‍ෂුව සොයන්නේ නම් ඒ ඔබ සොයන්නේ මාරයාමය. මන්ද සෙවීම යනු මාර ධර්මයකි. නිරතුරුවම අනිත්‍යභාවයට පත්වීම රූපයේ ස්‌වභාවයයි. රූපය අනිත්‍යභාවයට පත්වේ නම් එහි ඔබට සෙවීමට දෙයක්‌ නැත. ඔබ කළ යුත්තේ රූපය
ත් රූපය ඇසුරෙන් සකස්‌ වෙන 'සොයන්න'යෑයි කියන සිතත් අවබෝධ කරගැනීමය. එසේ අවබෝධ කර ගැනීමේදී ඔබ ද පරාජය කරන්නේ මාරයාම ය. එම භික්‍ෂුවගේ භික්‍ෂූ ජීවිතය තුළදී මීට පෙර අවස්‌ථා දෙකක කලු පැහැති ගොනෙක්‌, රතුපැහැති ගොනෙක්‌ වශයෙන් ද මාරයා භික්‍ෂුව ඉදිරියට සමාධිය තුළදී වියරු ස්‌වභාවයෙන් පැමිණියේය. මෙම ගොනුන්ගේ ස්‌වභාවය හරියට විදේශීය ගොන් පොර තරගවලදී තරගවදින ගොනුන්සේ පෘෂ්ඨිමත් ජවසම්පන්න වියරු ගතියක්‌ විය. මේ කරුණු භික්‍ෂුව ඔබට සඳහන් කරන්නේ ඔබ තුළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ඇතිවෙන බාධක බැඳීම්වලට එරෙහිව ඔබට වීර්ය ඇති කරගැනීමේ අරුත පැහැදිලි කරදෙන්ටය. මාරයාගේ ඉහත ස්‌වභාවයන් ගැන අපි පුදුමවිය යුතු නැත. අපි පුදුම වියයුත්තේ මෙවැනි ධර්මයට එරෙහිව වියරුවෙන් මාරයාට අපි කැමැත්තෙන්ම වසඟවීම ගැනයි. මාරයාගේ වගකීම වන්නේ යමෙක්‌ ධර්මය අවබෝධය කරා යයි ද ඔහුව එම ගමනින් ඉවත් කිරීමයි. යමෙක්‌ ධර්මය අවබෝධකර ගනියි ද ඔහුට එම ධර්මය ලෝකයාට දේශනා කිරීමට අවස්‌ථාව අහිමි කිරීමයි. මේවා ජන්ම ගතිය. ඔබට මේවා වෙනස්‌ කළ නොහැක. කළ හැක්‌කේ ඔබ මේ මාර්ගයෙන් වෙනස්‌වීමය.

ඉහත සටහනින් ඔබට වැටහෙනවා ඇති මාරයා යනු සංකල්පයක්‌ යෑයි කියන මතය මොන තරම් අවිද්‍යාවෙන් පිරුණු එකක්‌ ද කියලා. මාරයා යනු මේ ලෝකයේ ක්‍රියාත්මක චරිතයකි. මොහු දෙවියෙකි. මොහුගේ සේනාව ද දෙවියෝ ය. මොවුන් ඔබට පියවි ඇසෙන් දැකිය නොහැකිය. පිංවත් ඔබ ශීලයෙන් පරිපූර්ණව සමාධියෙන් පරිපූර්ණව ප්‍රඥාව දෙසට ගමන් කිරීමේ දී උතුම් සමාධියෙන් පමණක්‌ දැක ගත හැක්‌කකි. පරිපූර්ණ වූ සමාධියේ ඇසෙන් මාරයා සහ පිරිවර ඔබට ද මුණගැසෙනු ඇත. ඔබ අවංකව මාරයාට එරෙහිව ප්‍රඥාව අවබෝධය කරා යන්නේ නම් පමණක්‌..

මෙම සිද්ධියෙදී වසවර්ති දිව්‍යපුත්‍රයා කුළුහරක්‌ වේශයක්‌ මවාගෙන තම ආධිපත්‍යය රැකගැනීමට පෙන්වීමට පැමිණෙන්නේය. වසවර්ති දිව්‍ය පුත්‍රයා කියන්නේ කාමය තුළ ඇලීගැලී ඉන්න දෙවියෙක්‌. ඔහුට හිරිඔතප් කියන දෙයක්‌ නැහැ. ඔය දේම නේද සමහර මනුෂ්‍යයන් කරන්නේ. බොහෝම සුපිරි පංතියේ මනුෂ්‍යයෝ තම බලය, සැපය, ආධිපත්‍ය රැකගැනීම සඳහා මොන මොන වේශයන් මවාගන්නවාද? මිනීමැරීමට, වංචාකාරී ක්‍රියාවන් කිරීමට පැවිදි වේශයන් ගත් අය අතීතයේ නොසිටිය ද, වර්තමානයේ නැති ද? අහිංසක තරුණියන් මුලා කරගැනීමට ධර්මය නොදන්නාකම නිසාම මොන මොන ආකාරයේ වේශයන් මවාගන්නා අය සමාජයේ සිටිනවාද? කාමයන්ගෙන් අන්ධ වුණ තැනදී දෙවියෝ මනුෂ්‍යයෝ කියලා වෙනසක්‌ නැහැ. මේ ආකාරයට හේතුඵල ධර්මයන්ට අනුව මේ ධර්මය ගලපාගන්න උත්සහගන්න. එසේ නොවුනහොත් නොයෙක්‌ මතවාදයන් ඇති වේවි. එය ඔබට දුක පිණිසම තමයි හේතුවෙන්නේ. පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකරගන්න. කුමක්‌ නිසාද? මේ වියරු ලෝක ස්‌වභාවයන් පරාජය කරන්න මාර්ගය ඔබට උදාකර දුන්නාට.

භවයකරා දිවෙන කාලසටහන් ඔබ හකුලාදමන්න. භවය අයිති මාරයාට. එහෙයින් ලැබුණු ජීවිතයෙන් ධර්ම මාර්ගයේ උපරිම දුරක්‌ යන්න. මහාකරුණා සමාපත්ති ගුණයෙන් යුතුව පිරිනිවී යන මොහොත දක්‌වාම ලෝකයාට දුකෙන් මිදෙන මාර්ගයම මහාකරුණාවෙන් යුතුව දේශනා කර වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, වචනයෙන් කිව නොහැකි, අකුරකින් ලිවිය නොහැකි මහාසයුර වැනි අපිරිමිත ගුණ කදම්බයත්, පංචකාමයටම ලොල්වූ නීච මාරයාගේ ගුණමකුභාවයත්, පිංවත් ඔබව දුකටම හෙළීම සඳහා මාරයාගේ පවිටු ක්‍රියාවනුත් සතියෙන් සිහියෙන් යුතුව දකින්න. එවිට ඔබට දැනේවි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන ගුණකන්දක්‌ ද, මොන ගුණ සයුරක්‌ ද කියලා. ඔබ දක්‍ෂනම් මෙම අර්ථවත් අවබෝධයම ප්‍රමාණවත්, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න. තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියන්නේ සතර අපායෙන් මිදීමට අවශ්‍ය එක සුදුසුකමක්‌. මාරයාගේ පවිටුභාවය ගැන හිතලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න.

භික්‍ෂුව මේ සටහන ද්වේෂය සහ මාරයා ගැන සඳහන් කිරීමටයි සටහන් කළේ. මාරයා ගැන ඉහත සඳහන් කළා. ද්වේෂය ගැන මේ කරුණු පිංවත් ඔබට සඳහන් කළේ බස්‌රථයක වඩින විට මහත්මයෙක්‌ සඳහන් කළ අදහසක්‌ නිසා. භික්‍ෂුව කතරගම ප්‍රදේශයට වඩින්න කොළඹ ප්‍රධාන බස්‌නැවතුමෙන් කතරගම බසයට ගොඩවුණා. රත්මලාන ප්‍රදේශයේදී සුදු සරමක්‌ හා සුදු කමිසයක්‌ ඇඳගත්ත මැදිවියේ මහත්මයෙක්‌ බසයට නැග බසයේ ඉතිරිවී තිබූ එකම ආසනය වූ භික්‍ෂුව අසලම ආසනයේ වාඩිවුණා. මේ මහත්මයා භික්‍ෂුව ළඟ වාඩි වුණ වේලාවේ පටන්ම පාපුවරුව දෙස බලාගෙනමයි සිටියේ. මුහුණ ඉදිරිපසට කරගෙන සිටියේම නැහැ. භික්‍ෂුවට මුහුණ හංගාගෙන වගේ අහකබලාගෙනම සිටියා. බස්‌රථය තේ පානය සඳහා අතරමග නතර කළා. මගීන් බසයෙන් බැස්‌සට පස්‌සේ මේ අහක බලාගෙන සිටි මහත්මයා භික්‍ෂුවගෙන් අහනවා හාමුදුරුවනේ ගිලන්පස එකක්‌ ගෙනත් දෙන්නද කියලා. ඔහු කතා කරන විටම ඔහුගේ මුවින් අරක්‌කු ගඳ හොඳින් වහනය වුණා. ඒ වෙලාවේ තමයි භික්‍ෂුව දැනගත්තේ මෙතෙක්‌ වෙලා මේ මනුෂ්‍යයා අහකබලාගෙන සිටියේ ඇයි ද කියලා. අරක්‌කු ගඳ භික්‍ෂුවට දැනෙයි කියලා තමයි මොහු මුහුණ සඟවාගෙන මෙතෙක්‌ ඉඳලා තිබෙන්නේ. භික්‍ෂුව කීවා 'ගිලන්පස අවශ්‍ය වෙන්නේ නැහැ මහත්මයෝ' කියලා. නමුත් මේ මහත්මයා බස්‌රථයෙන් බැහැලා ගිහිල්ලා සිසිල්බීම බෝතලයක්‌ ගෙනත් පූජා කළා. භික්‍ෂුව පිංදීල එය වැළඳුවා. තේ පානය අවසන් කරලා නැවතත් බසය ගමන් ආරම්භ කළා. ඒත් මේ මහත්මයා අහක බලාගෙන සිටියේ. එකවරම මොහු භික්‍ෂුව දෙසට හැරී බොහෝම ගෞරවයෙන් 'මම ටිකක්‌ බීලා නිසයි මේ විදියට ඔබ වහන්සේට පිටුපාල වාඩිවෙලා ඉන්නේ' කියලා බොහෝම බැගෑපත්ව කීවා. ඒ වෙලාවේ භික්‍ෂුව විමසුවා මොකද මේ උදේ පාන්දරම අරක්‌කු බීල කියලා. එවිට මේ මහත්මයා 'හාමුදුරුවනේ මම මාතර ප්‍රදේශයේ පදිංචි අයෙක්‌. මගේ රැකියාව කට්‌ටඬිකම්, ගුරුකම් කරන එක. මම රත්මලානට ඊයේ පැමිණියා කෙනෙකුට වැඩක්‌ කරලා දෙන්න. දැන් වැඩේ ඉවරවෙලා ගෙදර යන ගමන්. හාමුදුරුවනේ මම පුරුද්දක්‌ වශයෙන් වැඩක්‌ භාරගන්නකොටම මගේ ගණුදෙනුකරුට මම කියනවා වැඩේ ඉවර වුණාම මට බොන්න අරක්‌කු අවශ්‍යයි කියලා. ඒ නිසා ගුරුකම් වැඩේ ඉවර වුණ ගමන් ගාස්‌තුවත් අරක්‌කුත් දෙකම ලැබෙනවා' කීවා. භික්‍ෂුව මොහුගෙන් ඇහුවා 'මහත්තයෝ ඔය ගුරුකම්වලින් ප්‍රතිඵලයක්‌ තිබෙනවද?' කියලා. මොහු බොහෝම උජාරුවෙන් ඔහුගේ දක්‍ෂකම් ප්‍රකාශ කළා. 'හාමුදුරුවනේ මට අවශ්‍යනම් මනුෂ්‍යයෙක්‌ව ජීවිතක්‍ෂයට පත්කරන්න අවශ්‍ය ගුරුකම් මා ළඟ තිබෙනවා. ඒවා මම කරලත් තිබෙනවා කීවා. ඒ වෙලාවේ භික්‍ෂුව ඔහුට කීවා 'මහත්තයෝ ඔය රැකියාව මහා පව්කාර වැඩක්‌නේ' කියලා. ඒ අවස්‌ථාවේ මේ මනුෂ්‍යයා කියනවා හාමුදුරුවනේ මම ගුරුකම් කරලා මනුෂ්‍යයෙක්‌ නැති කරන්නේ තවත් මනුෂ්‍යයෙකුට කරන උපකාරයක්‌ වශයෙන්ය කියලා. බලන්න මේ මනුෂ්‍යයා අදහස්‌ කරන්නේ මනුෂ්‍යයෙක්‌ විනාශකර දමන්නේ තවත් මනුෂ්‍යයෙකුට උපකාරයක්‌ වශයෙන්ය කියලා. මොහු මේ ගැන උදම් අනනවා. බලන්න මේ මනුෂ්‍යයා මනුෂ්‍ය ඝාතනයක්‌ සිද්ධකරන්න තරම් ද්වේෂයක්‌ සිත තුළ සකස්‌කරගෙන, එම ක්‍රියාව සත්පුරුෂ ක්‍රියාවක්‌ හැටියටත් දකිනවා. මොහු කට්‌ටඬි ක්‍රියාවන් හරහා මනුෂ්‍යයෙක්‌ව විනාශ කරන්නේ, දුකට පත්කරන්නේ, පිළිගන්නේ රැකියාවක්‌ වශයෙන්, ආත්ම තෘප්තියක්‌ ලබාගැනීමක්‌ වශයෙන්. මේ කටයුත්තේදී මොහු පමණක්‌ නොවේ, මොහුගේ සේවාදායකයාද ඉහත ක්‍රියාවන් සිදුකරන්නේ පළිගැනීමක්‌ වශයෙන්, තමාගේ ආත්ම තෘප්තිය සඳහා. එතකොට බලන්න ඉහත ගුරුකම් වැඩ සිදුකරන අප්‍රමාණ පිරිස්‌ සහ ඔවුනගේ සේවාදායකයන් ධර්මානුකූලව කුසල්, අකුසල් ද්වේෂය සහ මෛත්‍රිය ගලපා ගැනීමට නොහැකිවීම නිසා මොනතරම් අකුසල් මේ ජීවිත තුළින් සිදුකරගන්නවාද? අන්‍යයන්ගේ ජීවිතවලට ද අකුසල් අයිතිකර දෙනවා ද? ද්වේශයත් මෛත්‍රියත් හඳුනාගැනීමට නොදන්නා මිනිසුන් කුසල් අකුසල් කෙසේනම් හදුනාගන්න ද? නමුත් මේ ගැන හිතන විට භික්‍ෂුවට දැනෙන්නේ අනේ මොනතරම් පහසුවෙන් මේ දෙක හඳුනාගන්න පුළුවන්ද කියලා. මේ බස්‌ රථයේ භික්‍ෂුව ළඟ අසුන්ගෙන පැමිණි අදාළ මහත්මයා තුළ සංඝයා කෙරෙහි ගෞරවයක්‌ තිබෙනවා. ඒ නිසාමයි අරක්‌කු ගඳ හාමුදුරුවන්ට දැනෙයි කියලා මුහුණ වම් පැත්තට හරවාගෙන සිටියේ ගිලන්පසක්‌ අවශ්‍ය ද කියලා විමසුවා. හාමුදුරුවෝ අවශ්‍ය නැහැයි කියත්දිත් ඔහු සිසිල් බීම බෝතලයක්‌ බොහෝම ගෞරවයෙන් පුජා කළා. පිංදෙනවිට දෑත් එක්‌කර සාදු කිව්වා. බලන්නකෝ කොච්චරනම් තෙරුවන් කෙරෙහි ගෞරවයක්‌ද ඔහු තුළ තිබුණේ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මොහු තුළින් අනුනට විනාශය අත්කොට දෙන නිසා එම පව්වලින් ගැලවෙන්න සංඝයාට ගෞරවය දක්‌වනවාය කියලා.

ඉහත කරුණු සියල්ල කැටි කොට ගනිද්දී පිංවත් ඔබට මෙහෙම චරිතයක්‌ පෙනෙනවා. රැකියාවක්‌ වශයෙන් ගුරුකම්, කට්‌ටඬිකම් කරනවා. ඒවා කිරීමේදී සේවාදායකයාට ඇති මෛත්‍රිය නිසා ඔහුගේ විරුද්ධවාදියාව විනාශ කරනවා. රෝගිS කරනවා. මරණීය දුකට පත්කරනවා. එවැනි ෙච්තනා සකස්‌ කර ගන්නවා. එම ෙච්තනාම සේවාදායකයා තුළත් ඇති කරනවා. දෙවැනුව, එම පුද්ගලයාම, තමන්ගේ මෛත්‍රියට ලක්‌වූ සේවාදායකයා අතින්ම අරක්‌කු ඉල්ලාගෙන පානය කරනවා. තෙවැනුව එම පුද්ගලයාම බස්‌ රථයේදී හාමුදුරුවන්ට අරක්‌කු ගඳ දැනෙයි කියලා, හාමුදුරුවන්ට අපහසුවක්‌ දැනෙයි කියලා මුහුණ සඟවාගෙන සිටිනවා. ගිලන්පස අවශ්‍යද කියලා බොහොම ගෞරවයෙන් විමසනවා. අවශ්‍ය නැතැයි කියද්දිත් බොහොම ගෞරවයෙන් ගිලන්පස පූජා කරනවා. පිං දෙනකොට දෑත් එක්‌කර සාදුකාර දී අනුමෝදන් වෙනවා. මොහුම සුදු සරමක්‌, සුදු කමිසයක්‌ පැළඳ උපාසක ලීලාවෙන් ජීවත්වෙනවා. දැන් බලන්න මෙම චරිතය තුළ සකස්‌වුණා වූ සිත් මොන තරම් විවිධද. එකිනෙකට පරස්‌පරද, මේ පරස්‌පරතාව සකස්‌ වෙන්නේ අවිද්‍යාව නිසාමයි. රූප විඳීමට ඇති තෘෂ්ණාව නිසාම, හොඳ නරක තේරුණත් මොහු හොඳ නරක සොයන්නේ අඳුරේ. ඒ නිසා මොහු හොඳ කියලා නරක අතට ගන්නා අතරම නරක කියලා අතට ගන්නා හොඳ ද නරක ගොඩටම දමාගන්නවා. ඒ නිසා අවිද්‍යාව හේතුවෙන් සකස්‌ වෙන්නා වූ සිතට ද ලොව්තුරා බුදුරජාණන්වහන්සේ මාරයා කියලා දේශනා කරනවා.

පිංවත් ඔබ ඉහත ගුරුකම් මහත්මයාගේ ක්‍රියාකාරකම් තුළ දැක්‌කේ එකිනෙකට පරස්‌පර ක්‍රියාවන්නේ.... ඒ කිසිවක අර්ථයක්‌ නැහැ. සියල්ල මුලාව තුළමයි තිබෙන්නේ. මේ මාර ක්‍රියාකාරකම් මොහුට නිරයට හැර වෙන කොහෙට නම් පාර පෙන්වන්නද? දුකට පාර පෙන්වන සිතට ද 'මාරයා' කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ද මේ නිසාමය. එසේනම් දුකට පාර පෙන්වන සිත සකස්‌වීමට හේතු වූයේ රූපයක්‌මය. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් හේතුවෙන් දුකට පාර පෙන්වන සිත සකස්‌වන නිසා රූපයද මාරයා යෑයි ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළහ. මේවා සංකල්ප නොව, ඇසට පෙනෙන්නා වූ, සත්වයා නිරතුරුවම අත්විඳින්නා වූ ලෝක ස්‌වභාවයන්ය. පැහැදිළිව ලෙහෙසියෙන් කුසල් යනු මොනවා ද, අකුසල් යනු මොනවා ද, ද්වේෂය මෛත්‍රියේ වෙනස යනු කුමක්‌ ද යන්න හඳුනාගැනීමට මෙතරම් සද්ධර්මය ඇසෙන රටේ අවකාශ තිබුණ ද ඔබව පරස්‌පර මතවාදයන් තුළ කොටුකර තබන්නේ මාරයාගේ ග්‍රහණය තුළ සකස්‌වෙන සිත නිසාමය. මෙහිදී සිත යනු ඵසේස, වේදනා, සංඥා, සංස්‌කාර, විඥාන වශයෙන් ඔබ දැනගත යුතුය. මේ පස්‌දෙනාම මාරයාගේ ග්‍රහණයට නතුව ක්‍රියාත්මක වනුයේ ඔබ රූපයේ යථා ස්‌වභාවය හඳුනානොගන්නා නිසාමය. රූපය අවබෝධකර ගත්තා යනු මාරයා අවබෝධයෙන් හඳුනාගත්තා යනුය. මෙතැනදී රූපයත් සිතත් මාරයාගේ අවබෝධයෙන් හෙළිකරගැනීමට පිංවත් ඔබට හැකිය. මේ තැනට පැමිණීමට පෙරාතුව පිංවත් ඔබ මේ උතුම් ධර්මය අවබෝධයෙන් දේශනාකර වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිය යුතුය. ධර්ම රත්නය සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිය යුතුය. මාරපාර්ශ්වික ධර්මයන් අවබෝධයෙන් හඳුනාගැනීම සඳහා තෙරුවන්ගේ මාර්ගෝපදේශකත්වය හැර අන්කුමන සරණක්‌ ද පිහිටක්‌ ද යන විශ්වාසය තුළින් සතර අපායෙන් ඔබව මිදීම වලක්‌වන තෙරුවන් කෙරෙහි ඇති විචිකිච්චාවත්, අන්‍ය ශීලවෘතයන් කෙරෙහි ඇති විශ්වාසය කියන මාර බැඳීම් අවබෝධයෙන් මුළිනුපුටා ගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය.

සම්පූර්ණ ලිපි මාලාව මෙතනින් --> http://bit.ly/19oqRL3

මාරයා කුළු මීමෙකු ලෙස පැමිණියේය....



මේ සටහන් පුරාවට භික්‍ෂුව ද්වේෂය සහ මාරයා ගැන කරුණු සදහන් කළා. මෙහිදී මාරයා යනු කවරෙක්‌ද යන්න පිංවත් ඔබ දැනගැනීමට කැමැත්තෙන් ඇති. සමාජයේ බොහෝම තියුණු මතවාදයන් තිබෙනවා. මාරයා යනු සංකල්පයක්‌ පමණයි. මාරයා කියලා කෙනෙක්‌ නැහැ. එහෙමත් නැතිනම් මාරයා යනු සිගරට්‌, අරක්‌කුයි..... ඔය වගේ අවිද්‍යාව නිසා සකස්‌වෙන ප්‍රාථමික අදහස්‌ සමාජයේ තිබෙනවා. මෙවැනි අවිද්‍යාසහගත අදහස්‌ ඇතිවන සිතටත් එම සිත සකස්‌වීමට හේතුවෙන රූපයටත් මාරයා කියල තමයි ධර්මයේ සදහන් වෙන්නේ. ධර්මය නොදන්නාකම නිසා මෙවැනි අදහස්‌ අපි ප්‍රකාශ කරනවානම් අපිව වැටෙන්නේ මාරයාගේ මාධ්‍ය ප්‍රකාශකයන් ගනයටයි.

ප්‍රකාශකයා ඔබ වුවත් එම ප්‍රකාශය ඔබට සංස්‌කරණය කර දෙන්නේ මාරයාගේ පෞද්ගලික සහකාරියන් තුන්දෙනාය. ඒ තන්හා, රතී, රාගා යන මාර දූවරුන් තුන්දෙනාය. මේ තිදෙනා දිව්‍යාංගනාවන්ය. නිරතුරුවම කැමති වේශයක්‌ මාවාගැනීමේ හැකියාව ඇත. ස්‌වභාවයෙන්ම ප්‍රභාෂ්වරය. සියුමැලිය. රිද්මය, ලාලිත්‍යය එම දිව්‍ය ශරීරයේ ස්‌වභාවයයි. ඉදුණු ජම්බෝල ගෙඩියක මදය යම්සේ රෝස පැහැතිද, සුසිනිදු මල් පෙත්තක්‌සේ මටසිළුටු, රෝස පැහැති ශරීරයකි. මේ දිව්‍ය මාර රූමතියන්ගේ කාර්යභාරය මාරයාගේ ග්‍රහණය තුළ සිටින ඔබ තුළ තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නැමති අකුසල් ඇතිකිරීමය. මේ මාරධර්ම තුන ඔබ තුළ ඇතිවන්න, වර්ධනය වන්න වර්ධනය වන්න ඔබට දැනෙන්නේ මහත් ආශ්වාදයකි. මේ මාරධර්ම නිසා ඔබ දිට්‌ඨිකාන්තාරයක අතරමංවී සිටියත් ඔබට දැනෙන්නේ ඔබ දිව්‍ය විමානයක සුරසැප විඳින බවකි. ඔබ ලබන මේ අවිද්‍යාවේ සැපය ඔබට ලබාදෙන්නේ මේ මාරදූවරුන් තිදෙනාය. සුරූපී මාර දූතියන්ගේ ඇඟිලි තුඩුවල පහසින් ඔබ මෝහනයට පත්වී ඇත. ඔබ එම පහසට ඇති ලොල්භාවය නිසා මාරදූතියෝ සංස්‌කරණය කර දෙන ඕනෑම අවිද්‍යාසහගත ප්‍රකාශයක්‌ තළු මරමරා ප්‍රකාශ කිරීමට කැමතිය. වර්තමානයේ ඇසෙන 'මාරයා කියල කෙනෙක්‌ ලෝකයේ නැහැ. මාරයා සංකල්පයක්‌' වැනි අදහස්‌ මාරදූතියන්ගේ ග්‍රහණයට නතුවීම නිසාම ප්‍රකාශවන අදහස්‌ය. මාර දූතියන් විසින් සංස්‌කරණය කර දෙන එම අවිද්‍යාසහගත ප්‍රකාශ ලෝකයට ප්‍රකාශ කිරීම වෙනුවෙන් පිංවත් ඔබට ලැබෙන ගෙවීම තණ්‌හාව, මාන්නය, දිට්‌ඨියයි. පිංවත් ඔබ මෙම තුන් කාරණයෙන් පොහොසතෙක්‌ කිරීම මාර දූතියන්ගේ අරමුණයි. පොහොසත් වෙන්න ඔබට නිරයේ අති දීර්ඝ කාලයක්‌ පදිංචි වීමේ වරප්‍රසාදය කිසිදු අඩුවකින් තොරව ලැබෙනු ඇත.

එහෙයින් පිංවත් ඔබ කුමන අදහස්‌ සමාජයෙන් ඇසුණද එය නිතරම ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග ගළපා බලන්න පුරුදුවෙන්න. බුදුරජාණන් වහන්සේගේ වචනයට පටහැනිව එම අදහස දුක පිණිසම හේතුවෙන කරුණක්‌ බව අවබෝධ කරගෙන බැහැර කරන්න. තර්ක කරන්න, ගැටෙන්න යන්න එපා. එවිට ඔබත් නොදැනුවත්ම වැටෙන්නේ එම ගොඩටමය. තව තව නිහඩ වෙන්න. නිහඬතාවය තුළින් දිට්‌ඨි කාන්තාරයක්‌වූ මේ සිත ගැන අවබෝධය ලබන්න. ඔබ ලබන අවබෝධය සක්‌කාය දිට්‌ඨිය සිඳලීම සදහාම මෙහෙයවන්න. ලෝකයට ලෝකයේ ස්‌වභාවයෙන් සිටීමට ඉඩහැර ඔබ ලෝකයෙන් මිදෙන ස්‌වභාවයට පැමිණෙන්න. පිරිස මගහැර ඔබ තනිවන්න. තනිවූ සිතට නොඇලෙන්න. ඇලීමට තරම් නිත්‍යවූ සිතක්‌ නැති බව අනිත්‍යවූ සිත දෙස බලමින් තේරුම්ගන්න. මෙවිට ඔබව තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නමැති මාර දූතියන්ගේ සියුමැලි ඇඟිලි තුඩුවලින් කුල්මත් කරනු ඇත. කිතිකවනු ඇත. සුරතල් කරනු ඇත. පිංවත් ඔබ ගන්නාවූ උත්සාහය තන්හාව, මාන්නය, දිට්‌ඨිය නැමති දුකට අයිති ධර්මතාවයන්ගෙන් කිලිටිවීමට නොහැකි වනසේ දිවි දෙවැනි කොට වීර්යය වඩන්න. ලෝකයට, ලෝකයාට යන්නට හැර ඔබ නවතින්න. යමෙක්‌ නැවතුනා යනු සිත හඳුනාගත්තා යනුය.

සමාජය තුළ මාරයා ගැන මොන මතවාද තිබුණද, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකර දේශනා කළ වදාළ ධර්මයේ සඳහන් මාරයා ගැන දක්‌වන ලද අර්ථයන් ඔබට වර්තමානයේදීද ඒ උතුම් ධර්ම මාර්ගයේ අවංකභාවයෙන්, වීර්යයයෙන් යුතුව ගමන් කළහොත් අත්දැකීමට හැකිය. ඔබ එවැනි අත්දැකීමක්‌ ලබද්දී ඔබ තුළ ජනිතවන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දැඩි වීර්යයෙන් යුතුව මාර පරාජය සිදුකර අවබෝධකර වදාළ අති උත්තම ශ්‍රී සද්ධර්මයේ ශක්‌තියයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක්‌ ලොව පහළ නොවන්නට ලෝකයා කෙසේ නම් මේ පාපකාරී, මිසදුටු, අධර්මය ආහාරය ප්‍රීතිය කර ගත් මාරයා හඳුනාගන්ටද? මාරයාට ගොදුරුවීම හැර අන් මොන පිළිසරණක්‌ද? ලොව්තුරා බුදුරජාණන් වහන්ස. ඔබ වහන්සේට ධර්මය ගරුකරන තුන්ලෝකයාගේම උත්මතම නමස්‌කාරය වේවාෘ මේ විෂම මාරධර්මය අවබෝධකර පරාජයකර දේශනා කළාට.

මෙවන් උතුම් ධර්මයක්‌ සරණයන්නට අපි මොනතරම් භාග්‍යවන්තද? ශාසන පරිහානිය යනු, අබුද්ධෝත්පාද කාලයක්‌ යනු සත්වයාට මොනතරම් අඳුරු බියකරු විෂම කාලපරිච්ෙච්දයක්‌ වේවිද? ධර්මය ගොදුරුකර ගැනීමට බලාසිටින අධර්මයේ මාර සේනාව ලෝකයේ තනි බලය සියතට ගැනීමට පෙරාතුව ඔබට මුණගැසුණ ධර්මයෙන් ඔබ සනාථවෙන්න. දෙවැනියෙක්‌ ගැන නොසිතා ඔබ ලබන ඊළඟ උපත මාර්ග ඵලලාභී දෙවියෙක්‌ම වෙන්න.

දැන් භික්‍ෂුව මෙහි සදහන්a කරන්නේ සැබෑම මධ්‍යම ප්‍රතිප්‍රදාව තුළ එනම් තුන් සිවුරත් පාත්‍රයත් දරමින් දැඩි අධිෂ්ඨානයෙන් අවංකභාවයෙන් මේ ධර්ම මාර්ගයේ ගමන්ගත් එක්‌තරා භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙද්දී අත්දුටු මාරයාගේ නිවට දීන ක්‍රියාවකි. මේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලයේ අධිපති වසවර්ති මාරදිව්‍ය පුත්‍රයාය. භික්‍ෂුව රාත්‍රි 11.00 ට පමණ සමාධියෙන් පසුවෙද්දී භික්‍ෂුව ඉදිරියට ඉතාමත් වේගයෙන්, ජවයෙන්, වියරුවෙන් කුළුහරක්‌ රංචුවක්‌ පැමිණියහ. මෙම වියරු කුළුහරක්‌ රංචුව භික්‍ෂුවට මීටර් 25ක්‌ පමණ ඉදිරියෙන් ක්‌ෂණයකින් පහළවී භික්‍ෂුqවගේ ඉදිරියට දිව ආහ. මේ සෑම කුළු හරකෙක්‌ම ඉතාමත් ජව සම්පන්න හැඩිදැඩි සතුන්ය. මෙසේ වේගයෙන් පිඹිමින් භික්‍ෂුව ඉදිරියට දිව එමින් භික්‍ෂුවට මීටර් පහක්‌ පමණ තිබියදී මේ වියරු කුළුහරක්‌ රංචුව දකුණු පැත්තට හැරී පලා ගියහ. මෙම රංචුවේ අවසාන මීහරකාත් භික්‍ෂුවට සමාධියෙන් නොපෙනීයාමත් සමගම එක ක්‌ෂණයකින්ම භික්‍ෂුවට මීටර් විසිපහකට පමණ ඉදිරියෙන් තනි කුළුහරකෙක්‌ පහළ විය. ඒ කුළු හරකෙක්‌ නොව හරක්‌ රජෙකි. උස අඩි පහක්‌ පමණ ඇත. හොඳ පුෂ්ඨිමත් කුළුහරකෙකි. මොහුට අං පිහිටියේ නැත. මෙම කුළු හරකාගේ සම වෙල්වට්‌ සමකි. එම සතාගේ සම දිලිසෙන ග්‍රීස්‌වල ඇති කළු පැහැයක්‌ ගෙන තිබිණි. මෙම ප්‍රතාපවත් කුළුහරකාගේ සම කඩ කැපූ සිවුරක්‌සේ දිගැටි ආකාරයට අඟලේ අඟලේ ප්‍රමාණයට දිගට දහස්‌කඩ සිවුරක්‌සේ සම නිර්මාණය වී තිබිණි. මොහු ආයුෂ, වර්ණය, සැපය, බලය උපරිම තලයේ කුළුහරකෙකි. මෙම කුළුහරකාගේ නාසයට රිදී පැහැති අඟල් හයක්‌ පමණ වට රවුමකින් යුත් වළල්ලක්‌ දමා තිබිණි. එය මාපට ඇඟිල්ලක්‌ තරම් මහතය. දැන් ඔබ මොහොතක්‌ සිතන්න. නාසයට රිදී වළල්ලක්‌ දැමූ දහස්‌කඩ චීවරයක්‌ බදු වෙල්වට්‌ සමක්‌ සහිත මෙම ප්‍රතාපවත් කුළුහරකාගේ ස්‌වභාවය. ඔබ මනසින් මෙනෙහි කරන්න. ඉහත ස්‌වභාවයේ ප්‍රතාපවත් මේ කුළුහරකා භික්‍ෂුවට මීටර් 25 ක්‌ ඉදිරියෙන් පහළ වූ තැනදීම වේගයෙන් හිස වරක්‌ කරකවලා බොහොම සෘජුව හිස කෙලින් කර භික්‍ෂුව දෙස බලා සිටියා. ඔබ දැකලා ඇති මල්ලව පොර තරගවලදී බොහෝම හැඩිදැඩි විදේශීය ක්‍රීඩකයන් ප්‍රතිවාදියා සිටින වේදිකාවට ගොඩවෙනකොටම හිස බොහෝම ගාම්භීර ආකාරයෙන් කරකවලා සෘජු බැල්මක්‌ ප්‍රතිවාදියාට හෙළනවා. මෙහෙම කරන්නේ ප්‍රතිවාදියාව තරගයට පෙරදීම බියගන්වන්න. ඉහත කුළුහරකාද පහළවූ නිමේෂයේම ගාම්භිර ලෙස නාසයේ රිදී වළල්ලක්‌ පැළඳි, හිස කරකවා තේජස්‌බව තව දැඩිකර ගෙන සමාධියෙන් පසුවෙන භික්‍ෂුව දෙසට වියරු බැල්මක්‌ හෙළා නාසයේ කුහර දෙකෙන් දුවිලි පැහැ දුමක්‌ පිටකරමින් වියරුවෙන් මෙන් භික්‍ෂුව ඉදිරියට හඹා පැමිණියේය.

හරියටම භික්‍ෂුවට මීටර් පහක්‌ පමණ ඉදිරියෙන් මෙම කුළුහරක්‌ රජුද දකුණු දෙසට හැරී පලා ගියහ. භික්‍ෂුව තවමත් සුපුරුදු සමාධිය තුළය. දර්ශනය නිමවූ පසුව භික්‍ෂුව සමාධියෙන් අවදි විය. භික්‍ෂුවගේ මුහුණට සිහින් සිනාවක්‌ නැගිණි. සිහින් සිනාවත් සමග මේ සිතුවිල්ල භික්‍ෂුවතුළ පහළ විය. පරනිම්මිත වසවර්ති දිව්‍යතලයේ වසවර්ති දිව්‍ය පුත්‍රයා භික්‍ෂුව ඉදිරියේ කුළුහරකෙක්‌ වීමට තරම් දීන වූවා නේද යන සිතුවිල්ල භික්‍ෂුවට පහළ විය. භික්‍ෂුව බියගැන්වීම සදහා කරන ලද මේ පරාජිත මාර ක්‍රියාවේදී භික්‍ෂුව බියගැන් වීමට මාරයාට අවශ්‍ය විය. මාර දිව්‍යපුත්‍රයාගේ නිවටභාවය යනු ඔහු තවමත් සිතන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්යන් වහන්සේලා බිය ගැන්වීමට තමන්ට හැකිය කියාය. මේ ආකාරයෙන් මාරයා භික්‍ෂුව බියගැන්වූවේ සමහරවිට භික්‍ෂුව අවබෝධ කළ යම් ධර්මයක්‌වේද එම ධර්මය ලෝකයාට දේශනාකිරීම වැලැක්‌වීමටය. බියගැන්වීමටය. එම අවස්‌ථාවේ භික්‍ෂුව වැඩසිටියේ ලොකු ප්‍රපාතයක්‌ අසලම තිබූණු කදු බෑවුමක කුටියකය. භික්‍ෂුව මේ මොහොතේ බියගන්වා ගැනීමට පුළුවන් වුණොත් කුළුමීමා එන වේගයෙන්ම භික්‍ෂුව භාග බිත්ති බැඳ තිබූ එම කුටියේ එළියට පැන ප්‍රපාතයට වැටී අපවත් කිරීමට හැකියෑයි සිතුවාද විය හැකියි. එසේ වූවානම් මේ සටහන ඔබ අතට පත්නොවන බව මාරයා දනී. එහෙත් මාරයාට සිදුවූවේ එහි අනෙක්‌ පැත්තය. භික්‍ෂුවගේ රෝමකූපයකටවත් අනතුරක්‌ කිරීමට මාරයාට නොහැකි විය. සමාධි සුවයෙන් සිටි භික්‍ෂුවගේ සමාධිමත් ස්‌වභාවය එක දශමයකින් හෝ හීන කිරීමට මාර පුත්‍රයාට නොහැකි විය. මෙම ශක්‌තිය භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොව ධර්මයේ ආශ්චර්යයයි. ඔබද දක්‍ෂනම් මෙම ආශ්චර්ය ඔබගේත් උරුමයයි. උතුම් සමාධිය තුළදී බිය යනු ශූන්‍ය දෙයක්‌ යන ධර්මතාවයේ සත්‍යයයි. විචාර විතර්කයන්ගෙන් තොර සන්සිදුණු සිතේ උපේක්‍ෂාසහගත ස්‌වභාවය ඔබව ඇලීම් ගැටීම්වලින් මුදවාලනවාය යන ධර්මයයි. මෙම කථාවේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලය අයිති වසවර්ති දිව්‍යපුත්‍රයාය. මොහු ධර්මයට අකමැතිය. පංචකාමයටම නැඹුරු දිව්‍ය රජෙකි. සමාධිමත් භික්‍ෂුව ඉදිරියට මුලින්ම වියරුවෙන් දිවඑන කුළුහරක්‌ රංචුව මාර සේනාවයි. වසවර්ති දිව්‍යපුත්‍රයා මුලින්ම භික්‍ෂුව බියගැන්වීමට එව්වේ මාර සේනාවයි. මේ අයද දෙවිවරුය. ඔවුනට අවශ්‍ය ආකාරයේ වේශයක්‌ මවාගැනීමට හැකිය. භික්‍ෂුව බියගැන්වීමේ මේ මෙහෙයුමට ඔවුන් කුළුහරක්‌ වේශයෙන් පැමිණියහ. සමාධිමත් භික්‍ෂුවට මීටර් පහක්‌ තබා ඔවුන් දකුණට හැරී පලාගියේ සමාධිය තුළ සකස්‌වෙන නික්‌ලේශී ධර්ම ශක්‌තියට ළංවීමට ඔවුනට නොහැකි නිසාය. තම මාර සේනාව භික්‍ෂුව අබියසට පැමිණ පලායනවිට එම කටයුත්ත වසවර්ති මාරපුත්‍රයා භාරගත්හ. දෙවනුව පහළවූ තේජස්‌ සහිත ආයුෂ, වර්ණ, සැප, බලයෙන් පරිපූර්ණ දිලිසෙන ස්‌වභාවයේ ලොම් සහිත කුඵහරක්‌ රජු වසවර්ති දිව්‍යපුත්‍රයාය. මාර සේනාවට නොහැකිවූ තැන මාරයා ඉදිරිපත් විය. මේ තේජස්‌ සහිත කුළුහරක්‌ වේශය ගත් කුළුහරකා දකිනවිටම මොහු දිව්‍ය ඕජාවෙන් පරිපූර්ණ අයකු බව අවබෝධ වේ. දහස්‌කඩ සිවුරක්‌සේ කැටයම් වූ ඔහුගේ සමේ ප්‍රභාෂ්වර ස්‌වභාවය දෙවියකුට හැර වෙනකාට තිබෙන්නද? භික්‍ෂුවක්‌ සතු පරිපූර්ණ ශිලයේත් සමාධියේත් මෙම මාර පිරිවර සහ මාරයාට මුහුණදෙන අතර මොවුන් මාරයා සහ මාරපිරිවර බව හදුනාගන්නේ ප්‍රඥාව විසින්මය. ශීලයත්, සමාධියත්, ප්‍රඥාවත් එකතුවුණ තැනදී ඇතිවන අයෝමය ශක්‌තිය තුන් ලෝකයම තම ආධිපත්‍යය තුළ රඳවාගෙන තිබෙන මාරයාටද අභියෝග කළහැකි බවට, මාරයා පරාජය කළ හැකි බවට මීට වඩා උදාහරණ කුමකටද? ඔබ මේ දකින්නේ ධර්මයේ සන්දිට්‌ඨික ගුණයයි. ධර්මයේ අකාලික ගුණයයි. ඔබ මෙම සටහන කියවා මුල්තැන දිය යුත්තේ මාරයාට නොව ධර්මයේ සන්දිට්‌ඨික ගුණයටය.

සම්පූර්ණ ලිපි මාලාව මෙතනින් --> http://bit.ly/19oqRL3


Friday, April 25, 2014

මෝඝරාජ හිමියන්ගේ මහා කුෂ්ට රෝගයට හේතුව




අප බුදු සසුනෙහි රළු සිවුරු දරන භික්ෂූන් අතර අග තැම්පත් වූ මේ හිමියෝ උපත ලබා සිටියේ රජ කුලයක ය. සීයාගේ ඇවෑමෙන් රජ වූ නමුදු මහත්වූ කුෂ්ඨ රෝගයකින් දුක් විඳි බැවින් රජ සැප ද හිස් එකක් ම විය. එබැවින් මෝඝරාජ යැ යි ප‍්‍රසිද්ධ විය. පසුව සසුනේ පැවිදිව රහත් විය. මේ මහා කුෂ්ඨ රෝගයට හේතුුව නම් පියුමතුරා බුදු සසුනේ පැවිදි වී සිටිය දී ආසන ශාලාවක බිම ගිනි තැබීම වේ. ඒ හේතුවෙන් අවුරුදු 1000ක් නිරයේ පැසුණු අතර ආත්ම පන්සීයක ම උසස් කුලවතෙක් වුණත් උපතින් ම ශරීරයේ ලප කැළල් (උපන් ලප) බොහෝ ඇත්තෙක් වී ඇත. මේ පශ්චිම දිවියේ ද වාත රෝගයකින් මහා දුක් ගෙන දී ඇත.

(අපදාන පාලිය 540 වන අපදානය)

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!

පෙර ලිපි : http://goo.gl/GSpvB9

Thursday, April 24, 2014

ථේරී ගාථා වත්ථාලීස නිපාතය - ඉසිදාසි ථේරිය







මෑ නමින් ඉසිදාසිය විය. අවන්ති රට සිටුතුමා ගේ එකම දුව විය. තම තත්වයට ගැලපෙන සිටු පවුලක සිටු පුත‍්‍රයෙකු හා සරණ ගියා ය. ඈ අනලසව පණ්ඩිතව උත්සහවන්තව දාසියක් මෙන් සියළු කටයුතු තම ස්වාමියාට කර දුන් නමුත් නිරන්තරයෙන් ම ඒ සිටු පුත‍්‍රයා ඇයට බැණ වදින්නේ ය. අවසානයේ ඔහු විසින් ඇයව මාපියන් වෙත පිටත් කරන ලදි. ඉසිදාසිය ගේ පියා ඇයව නැවත මධ්‍යම පාන්තික සිටුවරයෙකුට සරණ පාවා දුන්නේ ය. ඒ සිටු පුත‍්‍රයාට ද තම ජීවිතය මෙන් ආදරය කළේ ද, සෙනහස දැක්වුව ද මැයගේ පෙර කර්මය නිසා ඔහුට ද එපා විය. ඔහු ද මෙතුමිය දෙමව්පියන් වෙත යැව්වේ ය.

පසුව සිටු පියා පාරේ ඉඳුල් කමින් යන හිඟන්නෙකු දැක ඔහු තම දුවට ස්වාමි කොට දී ඒ සිටු මැදුරේ ම නැවැත්වි ය. මහා පුදුමයකි, අහෝ කර්මයේ ඇති බලවත්ක ම නම් මැය ඔහුට ද ආදරයෙන් සෙනෙහසින් මවක් මෙන් ද සයනෙහි වෙසඟනක් මෙන් ද කටයුතු කල නමුදු මේ හිඟන මිනිසාට ද ඇය එපා වී සිටු මැදුරෙන් බැහැර වී යන්නට විය. අහෝ මේ අකුසල කර්මයන්ට නින්දා වේවාෟ පසුව ඈ මහණ වීමට හෝ සිය දිවි නසා ගැනීමට තීරණය කළා ය. පෙර පින් ඇති ඇය මහණ වී දින හතකින් රහත් වී ත‍්‍රි විද්‍යා ලාභී වූවා ය. මේ රහත් මෙහෙණින් වහන්සේ තමාගේ පූර්ව කර්මය බලා මෙසේ කීවා ය. ඇය පෙර ඒරකච්ච නුවර මහත් ධන ඇති රන්කරුවෙක්ව සිටිය දී තරුණ මඳයෙන් මත්ව පරදාර සේවනයේ යෙදී දිගු කලක් නිරා දුක් විඳ ඉන් මිඳී වැඳිරියක කුස පිළිසිඳ ගෙන ඉපදුන කල්හි නායක වඳුරා මේ කුඩා වඳුරාගේ පුරුෂ ලකුණ විනාශ කළේ ය. මෙයද පරදාර සේවනයේ දුක් විපාකයකි. පසුව මියගොස් අන්ධ වූ කුදු වූ එළදෙනක කුස පිළිසිඳ බිහිවූ අතර එහිදී ද බීජෝද්ධාරණය කරන ලදි. තව ද පුරුෂ නිමිත්ත ප‍්‍රදේශයේ පණුවන් ගසා අවුරුදු 12 ක් මහත් සේ දුක් විඳින්නට විය. මෙය ද පරදාර සේවනයේ විපාකයකි. පසුව අන්ධ වී මහත් දුක් විඳ මැරී දාසියක කුස නපුංසකයෙක්ව ඉපදුණි. පසුව මැරී දිළිඳු වූ අසරණ පවුලක උපන්නා ය.

ගිරිදාස නම් ගැල් අයිති තරුණයෙක් හා විවාහ වූ අතර ඔහුට තවත් බිරිඳක් ද විය. එබැවින් මේ දිළිදු කත ඒ බිරිඳ කෙරෙහි ස්වාමි පුත‍්‍රයා බිඳවා තමා ගේ වසඟයේ ම පවත්වා ගැනීමට විද්වේෂණ කර්මය කළා ය. (ස්වාමියට ඒ බිරිඳ පෙනෙන විට අතිශයින් කිපෙන සේ කරන කටයුත්තකි). ඒ කළ පහත් අකුසලය හේතුවෙන් මේ දිවියේදී ඈ තම ස්වාමියාට කොපමණ ආදරය කලත්, සෙනෙහස දැක්වුවත්, දාසියක් මෙන් සියළු වැඩපළ කළත් හොඳක් නම් අසන්නට නො ලැබුණිය. ඈ සියළුම ස්වාමි පුත‍්‍රයන්ට එපා වූහ. පාරේ ඉඳුල්කමින් ගිය හිඟන මිනිසාට ද එපා විය. එබැවින් සත්පුරුෂයනි, කර්මයේ ඇති බරපතලක ම තේරුම් ගෙන අතිශයින් ම ප‍්‍රවේශමින් අකුසල් නො කොට ජීවත් වෙත්වා!

(ථේරී ගාථා වත්ථාලීස නිපාතය - ඉසිදාසි ථේරිය)

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!

පෙර ලිපි : http://goo.gl/GSpvB9

#PathtoNirvana #Karma #Buddhism

Wednesday, April 23, 2014

බුදුරැස්‌ විහිදෙන සෝමාවතිය


සිරිලක එක්‌සේසත් කළ දුටුගැමුණු මහරජුන්ගේ පියාණන් වන කාවන්තිස්‌ස නිරිඳුන් විසින් අප සම්බුදුරජුන්ගේ ලලාටධාතුව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය කරවන ලද්දේය. එකල මහවැලි ගං මෝය අසබඩ වූ තැනිතලා ප්‍රදේශය සශ්‍රීක වූ ජනී ජනයාගෙන් පිරීගිය සමෘද්ධිමත් රාජධානියක්‌ විය. ඒ අවදියේ ම කැලණියේ සිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග කාවන්තිස්‌ස රජුගේ නැගණිය වන සෝමවතී දේවිය විවාහපත් වූවාය. දකුණේ ගැමුණු කුමරුගේ බලය වැඩෙමින් තිබීමත් සමගම ගිරි අබා කුමරු සෝමාවතී දේවිය එවකට සේරු නුවර රජකළ සිව රජු වෙත ගියහ. සිව රජුගෙන් මහවැලි නදිය අසබඩ ඉතා සශ්‍රීක වූ ප්‍රදේශයක්‌ ඔවුනට තෑගි වශයෙන් ලැබිණි. එම ප්‍රදේශය ලැබුණේ සෝමවතී දේවියට බැවින් ගිරිඅබා කුමරු විසින් අලුතින් ගොඩනැගූ නුවරට නම් තබන ලද්දේ සෝම නුවර වශයෙනි.

සෝමවතී දේවිය තෙරුවන් කෙරෙහි මහත් සැදැහැයෙන් යුතු බෞද්ධ මහෝපාසිකාවකි. ඕ තොමෝ සැමට යහපත පිණිස දාගැබක්‌ සහිත විහාරයක්‌ කිරීමට අදිටන් කරගත්තාය. තම ස්‌වාමියා වන ගිරිඅබා කුමරුට ද එය යෝජනා කළාය. මහත් සේ සතුටට පත් වූ කුමරුන් රහතන් වහන්සේලා හැට නමක්‌ වැඩම කොට දන් පැන් පිළිගන්වා දාගැබක්‌ සහිත වූ විහාරය සෑදීමේ අදහස ඉදිරිපත් කළේය. රහතන් වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුqණි

එකල ලක්‌දිව සඟ පරපුර නිර්මලව පැවති අවදියකි. අරිට්‌ඨ මහරහතන් වහන්සේගේ සිසු පරපුරෙන් පැමිණි මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ මහින්ද නම් එක්‌තරා රහත් තෙරුන් වහන්සේ නමක්‌ ළඟ සර්වඥයන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සුරැකිව තිබිණි. මෙය දැනගත් ගිරිඅබා රජු සහ සෝමවතී බිසව අලුත් දාගැබෙහි තැන්පත් කිරීම පිණිස ධාතුන් වහන්සේ නමක්‌ ලබාදෙන මෙන් මිහිඳු තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. මහත් සතුටට පත් මිහිඳු රහතන් ප්‍රධාන ඒ උතුම් සඟරුවන තමන් මෙතෙක්‌ කලක්‌ භක්‌ත්‍යාදරයෙන් සුරැකි ඒ දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජුට දුන්සේක. මහත් ප්‍රීතියට පත් රජතුමාත්, සෝමවතී බිසවත් රහතුන්ට වැඳ නමස්‌කාර කරමින් චෛත්‍ය කර්මාන්තය පටන් ගත්හ. දකුණු දළදා වහන්සේ නිදන් කොට තැන වූ එම චෛත්‍යරාජයාගේ සියලු කටයුතු සෝමවතී දේවියගේ මූලිකත්වයෙන් කළ හෙයින් සෝමවතී චෛත්‍ය යන නාමය ලැබිණි.

තත්කාලීන සෙල්ලිපිවලින් මෙම විහාරය හඳුන්වනු ලබා ඇත්තේ “මණිඅගිය” නමිනි. එහි තේරුම අනඟි මැණික යනුයි. මෙය එකල සකල විහාරාංගයන්ගෙන් පරිපූර්ණ වූ සිද්ධස්‌ථානයකි. පොහොය ගෙවල්, විහාර, සක්‌මන් මළු, භාවනා කුටි, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාමයන්ගෙන් සමලංකෘතව තිබුණි.

ක්‍රි.ව. 10 වන සියවසේ දකුණු දඹදිව උමතු සිව බැතිමත් රජවරුන්ගෙන් එල්ල වූ ආක්‍රමණයෙන් හටගත් බෞද්ධ සිද්ධස්‌ථාන සංහාරය නිසා ක්‍රමක්‍රමයෙන් මෙම ප්‍රදේශ වල් බිහිවී වනාන්තර ගත වෙන්නට විය. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදියේ ගලාබස්‌නා රටාව ද වෙනස්‌ව ගියේය. එකල මහවැලි නදියට නැගෙනහිරින් වූ සෝමවතිය දැන් පවතින්නේ මහවැලි නදියට මෙපිටිනි. එයට හේතුව නම් නදියෙහි ගලා බස්‌නා ආකාරය වෙනස්‌ වීමයි. අද චෛත්‍ය රාජයා වෙත යන මාර්ගය පවා වැටී ඇත්තේ පැරණි මහවැලි ගඟ ගැලූ ප්‍රදේශ ඔස්‌සේය.

කලක්‌ තිස්‌සේ වල්බිහිවී වනාන්තර ගත වී තිබුණු මෙම ප්‍රදේශයෙහි පිහිටි සෝමවතී දාගැබ පිළිබඳව තොරතුරු පැතිර ගියේ මෙහි ඇති හාස්‌කම් නිසාවෙනි. මෙම දාගැබෙන් බුදුරැස්‌ විහිදීමත්, අනේක වූ දිව්‍යභේරි නාදයන්ගේ රාවයන් නිකුත් වීමත් ආදී ප්‍රාතිහාර්යයන් ගැන අසන්නට ලැබී මෙම දාගැබ සොයා පළමුවෙන්ම පියවර තබන ලද්දේ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් ඇතුළු පිරිස විසින් 1947 දීය. උන්වහන්සේලා අලි, කොටි, වග වලසුන්ගෙන් ගහණ මහ වනයට පිවිස කෙමෙන් කෙමෙන් වන ගැබ තුළට පිවිසෙද්දී වනයේ අතරමං වූහ. කිසිවක්‌ කරගත නොහැකිව ත්‍රාසයට පත්ව සිටි ඒ අවස්‌ථාවෙහි ඈතින් අහසට ආලෝක ධාරාවක්‌ විහිදෙනු දැක එය ඔස්‌සේ මහාසෑය තිබුණු ප්‍රදේශය සොයාගන්නා විට රාත්‍රි 11 පමණ වී තිබිණි. ඔවුහු අපමණ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වූහ. තමන්ගේ නෙත් ඉදිරියේ දිස්‌වන්නේ හුදෙකලා ඝෝර වනයක කුඩා කඳුගැටයක්‌ මෙන් දිස්‌වෙන ගරා වැටුණු සෑයෙන් අහසට විහිදෙන බුදුරැස්‌ මාලාවන්ය. තුනුරුවන් වැඳ, පිරිත් කියා මහා සෑය ප්‍රතිංස්‌කරණයට අදිටන් කරගත් උන්වහන්සේලාට ඒ මහාසෑය ඇතුළින් හේවිසි හඬ ද ශ්‍රවණය කරන්නට ලැබුණි.

සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සෝමාවතියේ චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය ආරම්භ විය. ක්‍රම ක්‍රමයෙන් මහාසෑයේ පිළිසකර කටයුතු අවසන් වෙමින් තිබිණි. 1991 ජූලි මස 4 වැනි දින මහාසෑයේ කේතුපළන්දන මහෝත්සවය කළ වේලෙහි එහි පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත පිරිස මවිතයට පත්කරමින් දුටුදුටුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ කරවමින් සෝමවතී මහාසෑයෙන් බුදුරැස්‌ විහිදෙන්නට පටන් ගත්තේය. මෙම දර්ශනය මිනිත්තු 45 ක්‌ පමණ තිබුණි.

1983 හටගත් ජූලි කලබල වලින් පසු යළිත් සෝමවතිය හුදෙකලා වන්නට විය. බෞද්ධ ජනතාවගෙන් තොරවූ මෙම ප්‍රදේශයෙහි චෛත්‍ය රාජයාට වන්දනාමාන වතාවත් කිරීම එහි වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා විසින් කරන ලද්දේ ඉතා දුෂ්කරතා මධ්‍යයේය. කොටින්ම යන්නට පාරක්‌ තොටක්‌ නොමැති, අලි, කොටි, වලසුන්ගෙන් ගහණ සෝමාවතිය වෙත ළඟාවීමට බොහෝ දුක්‌ වින්ද යුතු විය. සෝමාවතී මහා සෑය වෙනුවෙන්ම තම ජීවිතයම පූජා කළ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පසු එහි භාරකාරත්වයට පත් පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අප්‍රමාණ ශ්‍රද්ධා භක්‌තියකින් යුක්‌තව මෙම චෛත්‍යරාජයාණන් වහන්සේගේ ආරක්‍ෂාවත් අභිවෘද්ධියත් උදෙසා මුළු ජීවිතයම කැපකළ සේක. උන්වහන්සේ අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වූ පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේගේ අභිවෘද්ධියත්, ආරක්‍ෂාවත් උදෙසා මහත් ශ්‍රද්ධාවකින් කැප වී සිටින අයුරු ලක්‌වැසි සියලු භික්‍ෂූන් හට උදාර ආදර්ශයක්‌ සපයයි.

වරින් වර කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයන්ට මහාසෑය ලක්‌විය. එක්‌වතාවක්‌ මහාසෑය සාරා තිබුණි. තව වතාවක්‌ කොත ගලවා තිබිණි. සිංහල බෞදAධයන්ව ද ඝාතනය කර තිබිණි. මහාසෑය පිහිටි ප්‍රදේශයට යැම භීතියෙන් සිත් කළඹවන තරම් දරුණු දෙයක්‌ බවට ත්‍රස්‌තවාදීන් විසින් පත්කොට තිබුණි. නමුත් ඒ කිසිවකින් බුදුරැස්‌ විහිදෙන මහාසෑයට හානි කළ නොහැකි විය.

2008 වසරේ මම සෝමවතී මහා සෑය වන්දනා කරන්නට ගියෙමි. 2008 පෙබරවාරි මස ස්‌වර්ණමාලි මහාසෑය වන්දනාව බඳු වන්දනාවක්‌ කිරීමට සෝමාවතියේද හැකියාවක්‌ ඇත්නම් කෙතරම් අගේදැයි අපට සිතුණි. මහා සෑය වන්දනා කොට මල් පුදා, දම්සක්‌ පැවතුම් සූත්‍රය සඡ්Cධායනා කොට දෙවියන්ට පින් දී අප විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ සිරිලක වනසන බියකරු ත්‍රස්‌තවාදය ඉක්‌මනින් නිමාවක්‌ දකින්නට අවස්‌ථාවක්‌ අපට සලස්‌වාදෙන ලෙසයි. ත්‍රස්‌තවාදී භීෂණය දුරු වූ විට සෝමාවතී මහාසෑ වන්දනාවක්‌ කරන බවට චෛත්‍ය රාජයාණන් වහන්සේට වන්දනා කොට ප්‍රාර්ථනා කළෙමි. තිස්‌වසරක්‌ පුරාවට පැවති බිහිසුණු ජාතිවාදි ත්‍රස්‌තවාදය අවසන් වූයේ ලක්‌වාසීන්ගේ වාසනාවටය.

මුනිඳු ගෞතම අප තිලෝගුරු – බුදුරැසින් ලොව දසත විහිදූ
සුමුදු බුදුවදනින් සදා සෙත – ලොවට සිරි සැප සතුට සෑදූ
පුබුදුවන මුනි ගුණය කැටිකොට – උතුම් සෝමාවතිය සෑදූ
දකුණු දළදා සමිඳු වඳිනෙමු – දෑත නළලේ තබා සාදූ

කිරිබත්ගොඩ
ඤාණානන්ද ස්‌වාමීන් වහන්සේගේ ලිපියක කොටසකි.

Tuesday, April 22, 2014

මෛත්‍රීයත් පරිස්සමෙන්




පිංවත් ඔබට ලෝකය සුන්දර ලෙස චමත්කාරජනක ලෙස පෙනුන ද ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය අති බහුලය. ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය බහුලයි යනු මනුෂ්‍යයා තුළ සකස්‌වන්නාවූ අවිද්‍යාසහගත සිත ක්‍රෝධය, ද්වේශය, ව්‍යපාදය තුළින් අපවිත්‍රයි යන්නය. ලෝකය යනු සිතයි. සිතක්‌ යනු දුකයි. මේ දුක වැඩිවශයෙන් ඔබට සකස්‌කර දෙන්නේ ද්වේශයෙන් අපවිත්‍ර වූ ඔබගේ සිතමය. එහෙයින් ලෝකය තුළ ද්වේශය, ක්‍රෝධය, ව්‍යාපාදය වර්ධනය වෙනවා යනු මනුෂ්‍යයා තුළ එම අකුසල් මූලයන් සකස්‌වීමේ ප්‍රවනතාවය වැඩිවීමයි. වරද ඇත්තේ අප තුළමය. එහෙත් අප අනුනට ආඬපාලි කියමින් සිටින්නෙමු. අනුන් නිසා ඔබද ද්වේශය සකස්‌කරගනිමින් සිටින්නේය.

සතර අපායේත්, මනුෂ්‍ය ලෝකයේත් සත්ත්වයා අත්විඳින අතිවේදනාකාරී දුක්‌වලට ප්‍රධානම හේතුව ද්වේශයයි, ක්‍රෝධයයි, ව්‍යපාදයයි. මේ තුළින් ලබන්නාවූ විපාක අතිවේදනාකාරීය. තියුණුය බිහිසුණුය. මෛත්‍රිය යම්සේ ශාන්ත ද, ප්‍රණිත ද, මිහිරි ද එහි විරුද්ධාර්තය ද්වේශයයි. රත්වූ යකඩ තැටියකට ඔබ ජලය දැමුවොත් ඒ ජලය යම්සේ වේගයෙන් පුපුරයිද ද්වේශයේ ස්‌වභාවයත් වේගයෙන් පුපුරුගැසීමයි. මේ වේගයෙන් පුපුරුගසන්නේ ද්වේශයෙන් තෙත්වූ ඔබගේ සිත මිස අන්කවුරුත් නොවේ. ඇයි මේ වේගය, ඇයි මේ පුපුරුගැසීම.... ඒ ඔබ තුළ ගොඩනගාගෙන ඇති මමත්වයේ දැඩිභාවයට කැළලක්‌ ඇතිවේය යන හීනමානය නිසා එය නැති කර ගැනීමට ඔබ ගන්නාවූ වෙහෙසයි. මේ වෙහෙස දැඩිවෙන තරමට ඔබ දැනගත යුතුයි ඔබ තුළ මමත්වයේ දැඩිභාවය වැඩිය කියලා. මමත්වයේ දැඩිභාවය වැඩිය කියලා කියන්නේ ඔබ "මම" කියන ආත්මීය භාවයෙන් අල්ලාගෙන ඇති සියල්ල කෙරෙහි ඇතිකරගෙන සිටින ජන්ද රාගයේ බලවත් බවයි. වර්තමාන සමාජයේ ජීවත්වන පිංවතුන් සකස්‌ වුණ ද්වේශසහගත සිත අති තියුණු ආකාරයට වර්ධනය කරගන්නවා. "මම" කියන පොහොර ද්වේශය කියන කටුපඳුර හොඳ සැපට වර්ධනය කරනවා අතුරිකිලි දමලා. මේ කටුපඳුර වර්ධනය වෙන්න, වර්ධනය වෙන්න ඔබ කැමතියි. මොකද ඔබ සිතන්නේ මේ කටුපඳුරේ විෂකටු ඇනෙන්නේ අනුනටය කියළා, ඔබේ ද්වේශයට ලක්‌වෙන්නාටය කියළා. ඔන්න ඔතන තමයි අප වරද්දගන්නේ. අපි දැනගත යුතුයි කටුපඳුරත් කටුපඳුරේ විෂකටුත් තමා තුළමයි වර්ධනය වෙන්නේ, එම විෂකටුවලින් තමාමයි දුකට පත්වෙන්නේ කියලා. තමා තුළම වැඩුන විෂකටු පඳුරේ විෂ තමයි ද්වේශය ඇතිවෙන විට ක්‍රෝධය, ව්‍යාපාදය සකස්‌ වෙනවිට ඔබගේ ඉන්ද්‍රිsය ක්‍රියාකාරිත්වයේ වේගය තුළින් දර්ශනය වෙන්නේ. ඔබ සමහර වෙලාවට ප්‍රකාශ කරන්නේ 'කේන්තියෙන් මාව වේව්ලනවා, මාව රතුවුණා, කළුවුණා, මාව ගිනිගන්නව වගේ වුණා, මට කවුරුවත් පෙනුනෙ නැහැ' වගේ අදහස්‌. මේවා තමයි එහි ප්‍රතිඵලය. විෂ ක්‍රියාත්මක වෙනවා තමාගේ පාලනය අභිබවායමින්. ඇත්ත වශයෙන්ම ද්වේශය ඇතිවුණාම ඔබට හොඳ නරක, ලැඡ්ජාව බය, කුසල් අකුසල් මේ මොකුත්ම පෙනෙන්නෙ නැහැ. මොකද ද්වේශය ඔබට සකස්‌ වුණේ මමත්වයේ දැඩිභාවය

රැකගැනීම උදෙසා ඔබ තුළ ඇති වුණ හීනමානයෙන් නිසා. ඔබ සූදානම් ද්වේශය නිසා ඇනකොටා ගන්න, මිනීමරාගන්න, සිරගත වෙන්න. එය ඔබ සැපයක්‌ වශයෙන් දකින්නේ. ඔබ තේරුම් ගන්නේ නැහැ ඔබ තුළ යම් රූපයක්‌ පස්‌සය වීම නිසා සකස්‌ වුණ ද්වේශ සිත ඔබට දුකක්‌ බව හඳුනාගෙන එම සිතේ අනිත්‍ය බව දකින්න. එවිට ඒ සිත ඔබෙන් බැහැරට යාවි. මෙවැනි සරල ධර්මයක්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනාකර ඇතත් එහි ප්‍රතිඵලය ලබන්නන් ඉතා අල්ප බව දකින්නට පුළුවන. ද්වේශය, ක්‍රෝධය, ව්‍යාපාදය ලෝකය තුළ මාරයාට අයත් ඉන්ද්‍රිsය ධර්මයන්. මේවා අඩුකරන්න නැති කරන්න ඔබට පුළුවන්කමක්‌ නැහැ. ලෝකය තුළ ද්වේශය තිබිය යුතුය. ඔබ දක්‍ෂවිය යුතුයි එය ඔබේ ජීවිතයට ආශිර්වාදයක්‌ කරගන්නට. ලෝකය තුළ ද්වේශය තිබුණොත් තමයි ඔබ තුළ ඇති මෛත්‍රිය ඔබට දකින්නට පුළුවන්, වඩන්න පුළුවන්. ක්‍රෝධය, ව්‍යාපාදය ලෝකයේ තිබුණොත් තමයි ඔබ තුළ ඇති කරුණාව මුදිතාව ඔබට දකින්ට පුළුවන්. තව තව වඩන්න පුළුවන්. ද්වේශයෙන්, ක්‍රෝධයෙන්, ව්‍යාපාදයෙන් පිරුණු ලොවක අපි ඉපදෙන්නේ මේ අකුසල මූලයන්ගේ නිරෝධය දෙසට ගමන් කිරීමට, අපිට සංසාරික කුසල් ධර්මයන් සම්පූර්ණව ඇති නිසාමයි. බුද්ධෝත්පාද කාලයක ඇති දුකින් මිදීමේ අර්ථය අවබෝධකර ගැනීමට ශක්‌තිය ඇති නිසාමයි.

ද්වේශය හදගැස්‌ම කරගත් සුවිශාලවූ සතරඅපාය අභිබවා ඔබ බෞද්ධ මව්කුසක උපත ලැබුවේ සසර පුරුදු කළ මෛත්‍රී ගුණධර්මයන් නිසාමයි. ප්‍රශ්නය තිබෙන්නේ මෛත්‍රිය අයිතිත් මාරයාට වීමයි. ද්වේශයත්, මෛත්‍රියත් දෙකම මාරයාට අයිති ධර්මයන්. ද්වේශයෙන් තම වසඟයට ගන්න බැරිකෙනා මෛත්‍රියෙන් තම වසඟයට ගැනීමයි මාරයාගේ අරමුණ. මොකද මාරයාගේ ගොදුරුබිම භවයයි. සත්වයාට චතුරාර්යසත්‍යය අවබෝධය දෙසට යැමට නොදී ඉන්මෙහා කුමන හෝ භවයේ නවාතැනක ඔබව නවතා ගැනීමයි මාරයාගේ අපේක්‍ෂාව. ඒ නිසා චතුරාර්යසත්‍යය අවබෝධ කරන ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ පෙරට යන ඕනෑම පිංවතෙකුට මෛත්‍රිය නැමති ඇම දමා අල්ලා ගැනීම මාරධර්මයයි. එහෙත් ඔබ මෛත්‍රියට බියවිය යුතු නැත. මෛත්‍රිය යනු භවයෙන් නොමිදී සිටින්නයෑයි මාරයා ඔබට දෙන අල්ලසකි, සැපයකි. සැබවින්ම එය සැපයකි, මිහිරකි, ආශ්වාදයකි. කොටින්ම එය පාරමිතාවකි. එහෙත් ඔබ එක කරුණක්‌ දැනගත යුතුව ඇත. මාරයා ඔබට අල්ලස්‌ දෙන්නේ ඔබට ඇති ආදරය නිසා නොව සුදුසු වේලාවේ ඔබව කොටුකර ගැනීමේ අපේක්‍ෂාව ඇතිවය. එය මේ ජීවිතයේදී නොවීමට පුළුවන. ලබන ජීවිතයේදී නොවීමට පුළුවන. අපි හිතන්නේ මේ ජීවිතයත් ලබන ජීවිතයත් ගැන පමණි. අපි කාලය මනින්නේ අවුරුදුවලිනි. එහෙත් මාරයා කාලය මනින්නේ කල්ප වලිනි. මාරයාට අයත් ලෝකය තුළ මේ දිගු භවගමනේදී අබුද්ධෝත්පාද කාල පසු කරන ඔබ මෛත්‍රිය ගැන අසන්නටවත් නොලැබෙන අඳුරු කාල පසු කරනු ඇත. එහෙයින් ද්වේශය, ක්‍රෝධය, ව්‍යාපාදය වෙනුවට මෛත්‍රිය ඔබ ජීවිතයට පුරුදු පුහුණු කිරීම නොව මාරයාට අයත් ලෝකයෙන් මිදීයාම උදෙසා මෛත්‍රිය වැඩීමට ඔබ දක්‍ෂවිය යුතුය. සක්‌කාය දිට්‌ඨිය සිඳ දැeමීම සඳහා මෛත්‍රිය වැඩීමට ඔබ දක්‍ෂ වියයුතුය.

'ඒගොල්ලෝ නපුරුයි, නරකයි, "මම" හොඳයි, මෛත්‍රි සහගතයි' කියන මමත්වයේ දැඩිභාවය සිඳ දැමීම සදහා ඔබ මෛත්‍රිය වැඩිය යුතුය. පිංවත් ඔබ ද්වේශයෙන්, ක්‍රෝධයෙන්, ව්‍යාපාදයෙන් මිදිය යුත්තේ මෛත්‍රිය මගේ කරගැනීමට නොවේ. ද්වේශ සහගත සිතත්, මෛත්‍රි සහගත සිතත් හේතුධර්මයන් නිසා සකස්‌ වී අනිත්‍යභාවයට පත්වී යන බව සිතීමටය. එවිට ඔබට ද්වේශයෙන් මිදී මෛත්‍රිය දෙසට නොව ද්වේශයෙනුත්, මෛත්‍රියෙනුත් මිදී භව නිරෝධය දෙසට ගමන් කිරීමට හැකිවනු ඇත. මාරයාගේ අල්ලස්‌ ප්‍රතික්‌ෂේප කළ පිංවත් නිවන් මග වඩන්නෙක්‌ වනු ඇත. සම්බුදු ඇකයේ උණුසුම සොයා පියවර මනින බුදු පුතෙක්‌ වනු ඇත ඔබ. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවත්, ශීලයේ පරිපූර්ණභාවයත්, ද්වේශසහගත සිතත්, මෛත්‍රීසහගත සිතත් අනිත්‍යබව දැකීමේ දැක්‌මත් ඔබ තුළින් පරිපූර්ණ නම් එම දැක්‌aම තුළින්ම ඔබව සම්බුදු ඇකය මතට ඔසවනු ඇත. එය භව ගමනේ නිමාව නොව භව ගමනේ නිමාව දැකීමේ මාර්ගයේ ආරම්භයයි. ඉතිරි දුර ගැන ඔබ බියවිය යුතු නැත. මොකද ඔබ සම්බුදු ඇකයේ පිළිසරණ ලබන හෙයිනි. කල්ප සියක්‌කෝටි ගණනක්‌ පුරාවට ඔබ විසින්ම ඝනභාවයට පත්කළ මමත්වයේ දැඩිභාවය නැමති වරපටවලින් ඔබ දැන් මාරයාගේ දෑත් දෙපාවලට විලංගුදමා අහවරය. මමත්වයේ දැඩිභාවයෙන් දැන් ඔබ නිදහස්‌ය. මේ නිදහස්‌ වීම ඔබ ලැබුවේ ද්වේශයට වෛර කිරීමෙන්වත් මෛත්‍රීයට මෛත්‍රී කිරීමෙන්වත් නොවේ. ද්වේශයත් මෛත්‍රියත් අනිත්‍යභාවයට පත්වෙන සිතක්‌ බව දැකීමෙනි. මේ මොහොතේ ඔබ ලබන්නේ දැක්‌මක්‌ පමණකි. අවබෝධයක්‌ නොවේ. නිරතුරුවම සිත දෙස බලාසිටීමෙන් ඔබට මේ අත්දැකීම ලද හැකිය.

පිංවත් ඔබ මෛත්‍රී භාවනාව පැය භාගයක්‌ කිරීම සඳහා සුදුසු ඉරියව්වකින් වාඩිවී මෛත්‍රී භාවනාව කරන්න. මේ පැය භාගය අතරතුරදී ශාරීරික පීඩා නිසා, වේදනාවන් නිසා, බාහිර ශබ්ද නිසා ඔබ තුළ ද්වේශයක්‌ සකස්‌ විය හැකිය. එය ඔබට ද්වේශ සහගත සිතක්‌ යන්න හඳුනාගැනීමට බැරිතරමට සියුම් විය හැකිය. අපි එම සිතට 'කේන්තියක්‌' කියළා කියමුකෝ. එතකොට බලන්නකෝ මෛත්‍රියත්, ද්වේශයත් අතර තිබෙන පරතරය කොතරම් කෙටිද? කෙතරම් සියුම්ද? මේ දෙදෙනා මොනතරම් අසල්වාසීන් ද. මෛත්‍රීසහගත සිත අසලම නිතරම ද්වේශය කල්මරමින් සිටිනවා. මොකද එයා දන්නවා ද්වේශයත් අනිත්‍ය බව. මෛත්‍රිය දන්න දෙයක්‌ ද්වේශය දන්න දෙයක්‌ ඔබ දන්නේ නැහැ. මොකද ඔබ සිටින්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. අයොනිසෝ මනසිකාරය නිසාම ඔබ මෛත්‍රියට වගේම ද්වේශයටත් ඇලිලයි සිටින්නේ. එක්‌කෝ ගැටිලයි සිටින්නේ. ඉතාමත් කෙටිවූ අල්පවූ බුද්ධෝත්පාද කාලවලදී මෛත්‍රියේ මිහිරි ආශ්වාදයෙන් ඔබව කුල්මත් කොට තබා, අති දීර්ඝවූ අති බියකරුවූ අබුද්ධෝත්පාද කාලවලදී ඔබව ද්වේශයේ ග්‍රහණයට ගැනීම මාරධර්මයයි. මේවා ඔබ හඳුනානොගන්නාතාක්‌ මෛත්‍රියේ කෙටි ආශ්වාදයට වහල්වී අති දීර්ඝ ආදීනවයන් අත්වීඳීමට ඔබට සිදුවනු ඇත. අතීතයේ ඇති වූ සෑම බුද්ධෝත්පාද කාලයකදීම මාරයා යුහුසුළුවන්නේ ඔබට මෛත්‍රිය ඉගැන්වීමටය. මාරයා ඔබේ ගුරුවරයා නිසා ඔබ මෛත්‍රිය ජීවිතයට එකතුකරගන්නේ ගුරුකුලයේ රුව ගුණ සහිතවය. ඒ කියන්නේ සක්‌කායදිට්‌ඨීය, මමත්වයේ දැඩිභාවය සමගින්මය. මෙන්න මේ මාරපාක්‍ෂික ධර්මය පරාජය කර ඔබ මෛත්‍රිය වැඩිය යුත්තේ මුහුණේ ඔපය වැඩිකරගැනීමට, ලේ ධාතුව පිරිසිදුකර ගැනීමට, දෙවියන්ට මනුෂ්‍යයන්ට ප්‍රියවීමට නොව පිංවත් ඔබ කාන්තිමත්, පිරිසිදු, මාර්ගඵලලාභී දෙවිකෙනෙක්‌, මාර්ගඵලලාභී මනුෂ්‍යයෙක්‌ වීමටය. සක්‌කාය දිට්‌ඨීය සිඳෙන තැන ඔබ ලබන සතර අපායෙන් මිදීමේ ජයග්‍රාහී ඉලක්‌කය අයිතිකර ගැනීමටය. මෙම අර්ථය ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථයයි, ඉලක්‌කයයි. ලෞකික ආනිශංස ලබාගැනීමේ අරමුණු තබාගනිමින් මෛත්‍රිය වැඩීම නොව, ලෝකෝත්තර අරමුණු මුදුන්පමුණුවා ගැනීම උදෙසා මෛත්‍රිය වැඩීමට ඔබ දක්‍ෂවෙන්න. එවිට සතර අපායෙන් මිදීම වගේම, මෛත්‍රියේ ලෞකික ආනිශංස ධර්මයන් අත්විඳීමේත් භාග්‍ය ඔබට මේ ජීවිතයේදීම උදාවනු ඇත. හැබැයි මාරයා මේ ක්‍රමයට කැමති නැහැ. එයාට අවශ්‍ය පිංවත් ඔබව මෛත්‍රීයේ ලෞකික ආනිශංස ධර්මයන්ට ලොල්කර බෞද්ධයා කියන සැබෑ අර්ථය වන නිවන් මාර්ගයෙන් ඔබව වලක්‌වන්න. නිවන් මාර්ගයේ නික්‌ලේශී සුවය ඔබට අමතක කර, සමේ පැහැපත් බව ඔබට මතක්‌කර දෙන්නට, සතරසතිපට්‌ඨාන ධර්මතාවයන් දෙසට නොව ලෞකික මෛත්‍රී සමාධියේ ආශ්වාදයෙන්, මිහිරෙන්, පැහැයෙන් ඔබව කුල්මත්කරවන්නට, තමා තුළ මෛත්‍රී ගුණ ධර්මයන් දියුණු කරගැනීමේ දැඩි අභිලාෂයෙන් ඔබ විසින් සිදුකරන දානමය පිංකම්, අසරණසරණ පිංකම්, සමාජසේවා ක්‍රියාවන්, සත්ව හිංසාවට එරෙහිවීම් මේ ආදී සෑම ක්‍රියාවකදීම ඔබ තුළ සක්‌කාය දිට්‌ඨීයේ ගොඩ වැඩිවන බව ඔබට දැනෙනවානම් ඔබ ප්‍රවේසම් වන්න. මේ බව හඳුනාගන්න ඔබ නිහතමානීවෙන්න. ඔබ තුළ එම නිහතමානීකම නැතිනම් පිංවත් ඔබ මුලින්ම ඔබව අරමුණුකරගෙන මෛත්‍රිය වඩන්න එම නිහතමානීකම ඇතිවේවා කියලා. මොකද ඔබට ඔබ කෙරෙහි මෛත්‍රිය නැති නිසාමයි ධර්මයේ අර්ථවත් මග ඔබ අහුරාගත්තේ.

පිංවත් ඔබගේ ඇස්‌ ඉදිරිපිට පෙනෙමින්, ඇසෙමින් තිබෙන ධර්මයේ අර්ථවත් මග ඔබ අහුරාගත්තේ මේ ජීවිතයේදී පමණක්‌ නොවේ අතීතයේ ලොව පහළවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගණනකගේ ශාසනවලදී ඔබ මේ අනුවනකම ම කළා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා මුණගැසුන අවස්‌ථාවන්වලදීත් අනුවනකම් කළ අපි ඒ හේතුවෙන්ම භව ගමනේ ඉදිරියට පැමිණි අපි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක්‌ පිරිනිවී වසර දෙදහස්‌ පන්සියයක්‌ පසු කළ මෙවැනි කාලයක අධර්මය බලවත්භාවයට පත්වීමේ ඉඟි පෙනෙන කාලයක, ඔබගේ අවිද්‍යසහගත, ඇති වෙමින් නැති වෙන සිත ඔබට දෙන ඇගයීම් ගැන ප්‍රවේසම් විය යුතුය. ඔබගේ ඔය මාරධර්මයන්ට යටවූ සිත ඔබට කියන 'මම හරි, මම වැරදියි, මමයි දන්නේ' වැනි දෘෂ්çන් ඔබ 'මාර්ගය හරි, මාර්ගය නිවරැදියි, බුදුරජාණන් වහන්සේයි දන්නේ' ආදී වශයෙන්

නිවරැදි කරගැනීමට දක්‍ෂවිය යුතුය. එවිට ඔබට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දැන දේශනාකර වදාළ සැබෑ මග වන ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ගමන් කර නිවරැදිභාවයට පත්වීමට ඔබට හැකි වනු ඇත. නිරතුරුවම ඔබ සිතන්න පුරුදු වුණොත් 'බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ' කියලා ඒ හේතුව නිසාම ඔබ අවශ්‍යම යමක්‌ දන්නා කෙනෙක්‌ බව තහවුරු වෙනවා. සතර අපායෙන් මිදීම උදෙසා ඔබට සියුම් ධර්මයක්‌ මෙතැන තිබෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ යෑයි විශ්වාස කරන තැනදී ඔබ තුළ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිවීමට හේතුවෙනවා. සියල්ල දන්නා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මුල්තැනට පත්කර තමා දෙවැනි වීමටත් තමන් නොදන්නා බව දැනගැනීම නිසාත් තමා තු=ළ මමත්වයේ දැඩිභාවය සියුම් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නිසාම තෙරුවන් කෙරෙහි විචිකිච්චාවත්, අන්‍ය ශීලවෘත කෙරෙහි විශ්වාසයත් ඇති වෙන්නෙ නැහැ. සතර අපායෙන් මිදීයැම සදහා මෙය ඔබට හොඳ කමටහනක්‌ වේවී. හැබැයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ කියලා ඔබ බුදුරජාණන් වහන්සේව "මගේ" කරගන්න යන්න එපා. ඔබ එහෙම කළොත් මාරයා ඔබේ කමටහන කෙලෙසුවා වෙනවා. "මගේ බුදුරජාණන් වහන්සේ" වශයෙන් ආත්මීය භාවයෙන් නොගෙන උන්වහන්සේ දේශනාකර වදාළ ධර්මය ඔබ ඔබේ මාර්ගය කර ගන්න. පිංවත් ඔබ සැමවිටම රූපය සතරමහාධාතුවෙන් සැදි රූපයක්‌ මගේ කර නොගැනීමටත් එම රූපය තුළින් සකස්‌ වෙන අනිත්‍යභාවය තුළ සැඟවී ඇති ධර්මය ගැන සිතීමටත් උත්සහවත් විය යුතුය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ ධර්ම මාර්ගයේ ඔබ යම්සේ අවබෝධයක්‌ ලබත් දී ඔබ බුදුරජාණන් වහන්සේව දකින්නේ ආත්මීය වශයෙන් නොවේ මේ උතුම් අවබෝධයට ඔබට මාර්ගය කියාදුන් ශාස්‌තෘන් වහන්සේ කියන පෞර්ෂත්වයෙන්, ගෞරවයෙන්. මොකද අවබෝධයෙන් දශමයකින් හෝ ඉදිරියට ගියා කියන්නේ තෘෂ්ණාව දශමයෙන් හෝ ප්‍රහාණය කළාය කියන කාරණයයි. සක්‌කායදිට්‌ඨීය නැති කළාය කියන්නේ තමා තුළ තිබූ මමත්වයේ දැඩිභාවය ප්‍රහාණය කළා කියන එකයි. විචිකිච්චාව, අන්‍යශීල වෘතයන් කෙරෙහි ඇති විශ්වාසය නැති කළාය කියලා කියන්නේ ඒ ගැන දැකීමට, සෙවීමට, විශ්වාස කිරීමට ඇතිවී තිබු තෘෂ්ණාව නැති වූ බවයි. අවබෝධය තුළින් ලැබු විශ්වාසය නිසා අවිශ්වාසය, දුක සකස්‌ වෙන දේවල් කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් ඔහු මිදුනා. ධර්ම මාර්ගයේ කුමන තැනකදිවත් අල්ලාගැනීමක්‌ නැහැ. අවබෝධයෙන් මිදීමක්‌මයි තිබෙන්නේ.
සම්පූර්ණ ලිපි මාලාව මෙතනින් --> http://bit.ly/19oqRL3