Monday, September 14, 2015

අග්ගික්ඛන්ධොපම සූත්‍රය


අග්ගික්ඛන්ධොපම සූත්‍රය -> http://pitaka.lk/32168/cs,aps
.
“තං කිං මඤ්ඤථ භික්ඛවේ කතමං හු ඛො වරං, යං අමුං මහත්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභුතං ආලිංගිත්වා උපතිසීදෙය්‍ය වා උපනිපජ්ජෙය්‍යවා යංවා ඛත්තිය කඤ්ඤංචා බ්‍රාහ්මණ කඤ්ඤංචා ගහපති කඤ්ඤංචා මුදුතලුණ හත්ථපාදිං ආලිංගිත්වා උපනිසී දෙය්‍යවා උපනිපජ්ජේය්‍යවාති.”
මිහිඳු මහරහතන්වහනසේ ලක්දිවදී දෙවනපෑතිස්ස රජ දරුවන්ට දේශනා කර වදාළ අග්කික්ඛන්ධොපම සූත්‍රය බුදුරදුන් දේශනා කරන ලද සූත්‍ර දේශනාවකි. මෙය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වග්ගයේ ඇතුළත්වේ.
ගිනි කන්ද උපමා කරගත් බැවින් අග්ගික්ඛන්ධෝපම යනුවෙන් හඳුන්වනු ලැබේ. දේවානම් පියතිස්ස රජු අරාධනා කිරීමට අනුව අනුරාධපුර මහමෙව්නා උයනේ ඉදිකළ තිස්සරාමය සඟසතු කළ පූජා උළෙලේදී අනුබුදු මිහිඳු මහරහතුන් විසින් රජ දරුවන් ප්‍රමුඛ දස දහසක් සේනාව අමතා මෙම සූත්‍රය දේශනා කරන ලදී.
ගෞතම බුදුරජාණන්වහන්සේ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන දිනක් කෝසල ජනපදයේ චාරිකාවක නිරත වූ සේක. මහා මාර්ගයේ මෙසේ වඩනා අතරතුර පෙදෙසෙක මහා ගිනිගොඩක් ඇවිලෙනු දැක මැනවින් ඇවිලෙන ගින්න කෙරෙහි භික්ෂුන්ගේ අවධානය යොමුකළහ.
මෙම ගිනිගොඩ බුදුරදුන් උපමා කරගෙන, එම ස්වභාවික සංසිද්ධිය සිය ධර්ම ප්‍රචාරයට ධර්මාවබෝධයට යොමුකරගත් කදිම අවස්ථාවක් එමගින් නිරූපණය වේ. මහත්සේ දිළිසෙන, මැනවින් ඇවිලෙන එම ගිනි කන්දට පැන එය වැළඳගෙන ඉන් අත්පා ඇඟ, ශරීර අවයව පුළුස්සා ගැනීම වැදගත් වේද? ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ හෝ ගෘහපති කන්‍යාවක සිප වැළඳගෙන මෘදු සියුමැලි අත් පා ස්පර්ශ කරමින් එවැනි කන්‍යාවක සිප වැළඳගැනීම වැදගත් වේද?
ඉහත සඳහන් ප්‍රශ්න දෙක බුදුරදුන් යොමුකළේ සිය භික්‍ෂු පිරිස වෙතය.
එවැනි අඟ පසඟවලින් යුතු ස්ත්‍රියක සිප වැළඳ ගැනීම උතුම් වේ. වැදගත්වේ යයි භික්‍ෂුහු පිළිතුරු දුන්හ.
මෙම සූත්‍රය තුළ පුද්ගල මනස භාව සංසිද්ධීන් හා ගැටෙන ආකාරය මැනවින් හෙළිකරන මනෝවිග්‍රහයක් ලෙස පෙනේ. ගිනිගොඩකට පැනීමට වඩා ස්ත්‍රියක් වෙත ලංවීම සතුටක් ලෙස දකින්නේ එම මනෝභාවයන් නිසාය.
කිසිවෙකුත් අපේක්‍ෂා නොකළ විදිහේ පිළිතුරක් මෙහිදී බුදුරදුන් වදාරති. ශිලාදී ගුණ දහම් පුරන්නකු හෝ එවැනි සීල සමාචාරයකට පිළිපත් අයෙකු රාගාදී සිතුවිලි උපදවා ගනියි ද? එබඳු රාගාධී සිතුවිලි මුල් කරගෙන ක්‍ෂත්‍රිය කන්‍යාවක හෝ බ්‍රාහ්මණ කන්‍යාවක හෝ සිපවැලඳ ගනියිද? එය දීර්ඝ කාලයක් අයහපත පිණිස පවතින්නේය. ( දීඝ රත්තං අහිතාය දුක්ඛාය හොති.)
එම යථෝක්ත ක්‍රියාවට වඩා වටින්නේ ගිනිගෙන දිළිසෙන මහ ගිනිකන්දකට පැනීමය. ගිනිකන්දට පනින පුද්ගලයා පිළිස්සී වේදනා විඳ, මරණයට පත්වුනොත් එය එකම දුකකි. වේදනාවකි. එය ඒ මොහොතට පමණක්්වේදනා ගෙනදෙයි. එහෙත් කන්‍යාවක සිප වැළඳගෙන දුසිල් අයෙකු වීම දීර්ඝ කාලයකට සසරදුක් ඇති කිරීමට හේතු වන්නේය.
දීර්ඝ කාලයක් සසරේ දුක්විඳීම ද? කෙටි කාලයක් ගිනි ගොඩක පිළිස්සීම ද වැදගත් වන්නේ, සසර දුක නිවීමට දම් දෙසනා බුදුරදුන් තාවකාලික දුක්ඛ වේදනා ඉවසා, දීර්ඝ කාලීන දුක් වේදනා දුරු කිරීමට උපදෙස් දෙති.
අග්ගික්ඛන්ධෝපම සූත්‍රය පුරා විවිධ උපමා උපමේය මගින් සිල්වත්කම රැකගැනීමටත්, දුශ්ශීල බව පහ කිරීමටත් දම්දෙසන ආකාරය ඉතා වැදගත්වේ.
බලවත් පුරුෂයෙකු තියුණු ආයුධයකින් සිය පපුවට ඇනගැනීම බලවත් පුරුෂයෙකු ගිනි ගොඩක බහාලු මැනවින් රත්කළ යකඩ පටියක් ශරීරයේ වෙලීම සැපතක් වන්නේ ඒ නිසාම අනුමත කළ, චීවර පිණ්ඩපාත ආදිය පරිභෝග කරන්නේ නම් ඉමහත් සසර බන්ධනයක් වන්නේය.
ගිනිගෙන රත්වූ රන්වන් පාටින් බබළන දිළිසෙන යකඩ පටියක් මුව තුළට ඇතුල් කරගැනීම, දිළිසෙන යකඩ බටයක් උඩට නැග වාඩිවී සිටීම යන කරුණු උපයෝගී කරගෙන බුදුරදුන් මෙම සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත කරුණු වේ. උලකින්, ගිනිගොඩකින් සිදුවන වේදනා තාවකාලික එකකි. තමන්ට අවශ්‍ය විටක අවබෝධකරගත් ඒ දහම ධර්මය මැනවින් රැකීමෙන් විපුල ඵල ලබාගත හැකි බව එම සූත්‍රය පෙන්වා දෙයි. සිල්වත්කම වසං කොට දුශ්ශීලයෙකුවීම අපාගත වන පාප කර්මයක් බව බුදුරජාණන්වහන්සේ වදාරති.
අපේ නිත්‍ය ශීලය ආර්යකාන්ත වූ පංච සීලයයි. පෝදා උවසැ-උවැසියෝ අටසිල් සමාදන් වෙති. සිල් සමාදන් වූ පසු රාජ කථා චෝර කථා අද (රජුන් සොරුන්) පිළිබඳ දෙතිස් කථාවලින් වැළකිය යුතුය. කාය වාචා මනසා යන ත්‍රිවිධ දොරටු සුචරිතයට සමීප කරගත යුතුය.
.
මාදෝවිට වජිරබුද්ධි හිමි
හෝමාගම පුරාණ විහාරාධිකාරී,
පන්නිපිටිය විද්‍යාලංකාර නියෝජ්‍ය පරිවේනාධිපති

Thursday, September 10, 2015

චෛත්‍ය පිරිසිදු කිරිඉමේ ආනිසංස

උතුම් ස්ථානයක අපිරිසිදු කටුක දේවල් ඉවත් කිරීමෙන් කළ කර්මය, එහි විපාකය වශයෙන් අපිරිසිදු කටුක දේවල් ඉවත් කිරීමත්, පිරිසිදු භාවයත් ගෙන දෙනවා.
බලන්න කර්මය හා විපාකය කොතරම් සහේතුක ධර්මතාවයන් ද කියලා...
අපිත් කුසල කර්මයන්ම කරනවා කියලා තදින් සිතට ගනිමු


මහක සූත්‍රය

මහක සූත්‍රය -> http://pitaka.lk/24164/cs,aps

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු අම්බාටක වනයෙහිවූ මච්ඡිකාසණ්ඩ නම් වනලැහැබෙහි වාසය කෙරෙත්. එකල්හි චිත්ත ගෘහපති තෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් වැඳ එක්පසෙක උන්නේය. එකත් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ට, “ස්වාමීනි, තෙරුන් වහන්සේලා සෙට දවස පිණිස මාගේ ගව කුලයෙහි බත ඉවසත්වායි” ආරාධනා කළේය, ස්ථවිර භික්ෂූහු තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගිට, ස්ථවිර භික්ෂූන් වැඳ ගෞරවකොට ගියේය.
ඉක්බිති ස්ථවිර භික්ෂූහු ඒ රාත්‍රියගේ ඇවෑමෙන් උදය වරුයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන චිත්ත ගෘහපතිහුගේ ගව කුලය යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ පණවන ලද අස්නෙහි වැඩහුන්නාහුය. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන් ප්‍රණීතවූ ගිතෙල් සහිත කිරිබතින් සියතින් වැළඳවිය. ඇතැයි ප්‍රතික්ෂේප කරවීය. ඉක්බිති වළඳා පාත්‍රයෙන් බැහැර කරනලද අත් ඇති ස්ථවිර භික්ෂූහු හුන් අස්නෙන් නැගිට ගියාහුය. චිත්ත ගෘහපතිතෙමේද, කිරිබත් අනුභව කරමින් සිට ඉතිරිය ඉවත් කරවයි කියා ස්ථවිර භික්ෂූන් පිටුපසින් ගියේය. එකල්හි ශරීරය දැවෙන තරම් උෂ්ණය ඉතා අධිකය, ඒ යහපත් ආහාර වැළඳූ ස්ථවිර භික්ෂූහු හැකිලෙමින් යත්.
එකල්හි වනාහි ආයුෂ්මත් මහක ස්ථවිරතෙම ඒ භික්ෂු සංඝයා අතර සියල්ලන්ට බාලවූයේවේ. එකල්හි ආයුෂ්මත් මහක ස්ථවිරතෙම ආයුෂ්මත් ප්‍රධාන ස්ථවිරයන්ට, “ස්වාමීනි, ස්ථවිරයන් වහන්ස, යම් සීත වාතයක් හමුවන්නේ නම් වළාකුල් නගින්නේ නම් වැහි පොද එක දෙක වැටෙන්නේ නම් හොඳනේදැයි” කීය.
“ඇවැත්නි, මහක සීත වාතයක් හමන්නේනම් වළාකුල් නගින්නේ නම් වැහිපොද එක දෙක වැටෙන්නේ නම් හොඳයයි කීය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවීරතෙමේ යම් සේ සිහිල් වාතය හමන්නේද, වලාකුල් නගින්නේද වැහි පොද එක දෙක වැටෙන්නේද, එවැනි සෘද්ධියක් දැක්වීය.
ඉක්බිති චිත්ත ගෘහපතිහට මේ භික්ෂු සංඝයා අතර යම් මේ සියල්ලන්ට බාලවූ භික්ෂුවක් ඇද්ද ඔහුගේ ඍද්ධි ආනුභාවය මෙබඳුයයි සිත්විය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම ආරාමයට පැමිණ ආයුෂ්මත් ප්‍රධාන ස්ථවිරයන්ට ස්වාමීනි, ස්ථවිරයෙනි, මෙපමණක් ප්‍රමාණදැයි” කීය. “ඇවැත් මහකය, මෙපමණක් ප්‍රමාණය. ඇවැත් මහකය, මෙපමණකින් කරනලදී. ඇවැත් මහකය, මෙපමණකින් පුදනලදීය”යි කියනලදී. ඉක්බිති ස්ථවිර භික්ෂූහු යම් සේ විහාරයන් කරා වැඩියාහුය. ආයුෂ්මත් මහකය තමාගේ වෙහෙරට ගියේය.
ඉක්බිති චිත්ත ගෘහපතිතෙම, ආයුෂ්මත් මහක ස්ථවිරයන් වෙත පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහක ස්ථවිරයන් වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් මහක ස්ථවිරයන්ට “ස්වාමීනි ආර්ය මහකයන්වහන්ස, මට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උතුම් ඍද්ධිප්‍රාතිහාර්යයක් දක්වන්නේ නම් යහපතැයි” කීයේය.
“ගෘහපතිය, ඔබ එසේ වීනම් පිළෙහි උතුරු සළුව අතුරා තණ මිටියක් විසුරුවයයි කීය. “ස්වාමීනි, එසේයයි” කියා චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් මහක ස්ථවිරයන්ගේ වචනය පිළිගෙන පිළෙහි උතුරුසළුව දමා ඊපිට තණ මිටියක් විසුරුවේය.
ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම විහාරයට ප්‍රවිෂ්ටව යතුරු අගුල දමා යම්සේ යතුරු කපල්ලෙන්ද අගුල අතරින්ද ගිනි දැල් නික්ම තෘණ දැවෙන්නේද, උතුරුසළුව නොදැවෙන්නේද, එබඳු ඍද්ධියක් පෑයේය. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම උතුරුසළුව ගසා දමා සංවේගයෙන් ලොමු ඩැහැගත්තෙක්ව එක් පසෙක සිටියේය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම විහාරයෙන් නික්ම ‘ගෘහපතිය මෙපමණක් සෑහේදැයි” කීයේය.
“ස්වාමීනි, මහක ස්ථවිරයන්වහන්ස, මෙපමණක් සෑහෙයි ස්වාමීනි මහක ස්ථවිරයන් වහන්ස, මෙපමණකින් කරන ලද්දේ වෙයි. මෙපමණකින් පුදන ලද්දේවෙයි. ස්වාමීනි, මහක ස්ථවිරයෙනි, ආර්යයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි විසීමට කැමැති වේවා, අම්බාටක වනය සිත්කලුය. මම ආර්යයන් වහන්සේට චීවර පිණ්ඩපාත සෙනාසන ගිලන්පස බෙහෙත් පිරිකර සැපයීමට උත්සාහ කරන්නෙමි.”
“ගෘහපතිය, යහපතක් කියනු ලැබේයයි” කීය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම සෙනසුන හකුලා පා සිවුරුගෙන මච්ඡිකාසණ්ඩයෙන් ගියේය. යම් හෙයකින් මච්ඡිකාසණ්ඩයෙන් ගියේද, එසේ ගියේම විය. ආපසු නැවත නොආයේය.
-------------
සූත්‍ර පිටකය හා එහි සිංහල පරිවර්තනය කියවීම සඳහා පිටක.lk වෙත පිවිසෙන්න.

Friday, May 9, 2014

කයේ යථා ස්වභාවය

කයේ යථා ස්වභාවය පිළිබඳව හොඳින් සිහිය පවත්වමු - කායගතාසති

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස,

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ..
පූර්ණ සඳ මඩලෙකැයි සිතමි..

ඔබ වහන්සේ වදහළ සද්ධර්මය ඒ සඳ මඩලෙන් බට සිහිල් වූ සඳ රැස් යැයි සිතමි.

ඔබ වහන්සේගේ පුත් වූ සඟරුවන් පෙළ ඒ සඳ රැස් වැටීමෙන් සැදැහැ නමැති දිය දහර ගලායන සඳකත් මිණි පහණ සමූහයෙකැ‘යි සිතමි..!!!

පහන් පුජාවේ ආනිසංස

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ගේ චෛත්‍යයට එක් රැයක් එක් පහනක් පුදා පහත සඳහන් ආනිසංස ලැබුණු බව ථේරි අපදානේ දක්වා ඇත්තේ ය.

▶ සෑම තැනම තමාට ප‍්‍රදීප දැල් වේ.
▶ දිවැස් ලැබේ.
▶ තීක්‍ෂණ නුවණ ලැබේ.
▶ යසසින් දිලිසෙත්.
▶ ශ‍්‍රද්ධාව හා ප‍්‍රඥාව මනාව පිහිටත්.
▶ උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

සත්පුරුෂයිනි, ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නොවිසිරුන සිතින් කරන පුංචි දෙයක් වුව ද මහත් ඵල ආනිශංස ගෙන දේ.

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!

හය හතර දන්න කෙනෙක්ද?

හය හතර දන්න කෙනෙක්ද?
හයක් හතරක් නොතේරෙන පොඩීකා කියල කියන්නේ සාමාන්‍යෙන් කිසිදෙයක් නොතේරෙන ළමයින්ටනේ...
ඇත්තටම මොකද්ද මේ හය හතර කියන්නේ?
දන්නෙ නැත්තන් ඔන්න බලාගන්න..

'හය' - දිව්‍යලෝක හය
චතුම්මහාරාජිකය
තාවතිංසය
යාමය
තුසිතය
නිම්මාණරතිය
පරිනිම්මිත වසවත්තිය

'හතර' - සතර අපාය
නිරය භූමිය
තිරිසන් භූමිය
ප්‍රේත භූමිය
අසුර භූමිය

පැරැන්නො හය හතර දන්නැති එකා කියල තියෙන්නෙ ධර්මය නොදන්න හිස් මිනිස්සුන්ට..කාලයත් එක්ක මේ යෙදුම්වල භාවිතය වෙනස්වෙන හැටි බලන්න..

වර්තමානයේ කීදෙනෙක් හය හතර දන්න අය ඉන්නවද ...මම හිතන්නේ 99%ක්ම හයහතර නොතේරෙන අය ඉන්නෙ..සමහරු කියනව ඔවා ඔක්කොම තියෙන්නෙ මෙහෙ කියල.. තව සමහරු විද්යාවෙන් ඔප්පුවෙනකන් බලන් ඉන්නවා..පිරිහීමක මහත....

වෙනස

බොහෝ දෙනෙක් දඩුවමට බියෙන් හෝ ආශාවෙන් හෝ යදිති. යළි යළිත් යදිති..

බෞද්ධයෝ අවබෝධයෙන් ම ගුණය සිහි කොට එයට ගරුකිරීම් වශයෙන් නමස්කාර කරති..

මේ ධර්මය ප්‍රඥාවන්තයින්ට ම ය. මෝඩයින්ට නොවේ..!

සංඝ රත්නයේ ගුණ කියවෙන සෘජුපටිපන්නෝ

සංඝ රත්නයේ ගුණ කියවෙන සෘජුපටිපන්නෝ.... ගාථාවට අනුව සංඝරත්නයට අයත් වන්නේ පුද්ගලයන් 8 දෙනෙකි. එනම් සෝවාන් මාර්ගස්ථ හා ඵලස්ථ පුද්ගලයා ... අරහත් මාර්ගස්ථ හා ඵලස්ථ පුද්ගලයා යන 8 දෙනාය.

ගිහි අපටත් කල්‍යාණ මිත්‍ර ඇසුර තුලින් සෝවාන් මාර්ගයට පිවිසිය හැකිනම් සංඝ රත්නයට ඇතුළු විය හැකිය.
ඒ සඳහා උපකාරයක් http://sudassana.org/

සතුන්ට හිංසා කිරීමෙන් වළකිමු..!

සතුන්ට හිංසා කිරීමෙන් වළකිමු..!
නිතර රෝගී වීමට හේතුව සතුන්ට හිංසා කිරීමයි..

බුද්ධෝත්පාද කාලයෙන් උපරිම ඵල නෙලා ගනිමු

සත්‍යය නොසොයා දිරාපත් වී කුණුවී යාමට පමණක් ජීවත් වීමෙන් ඇති ඵලය කුමක්ද?
මේ අති දුර්ලභ බුද්ධෝත්පාද කාලයෙන් උපරිම ඵල නෙලා ගනිමු

Kaama sapaya sihinayak banduya




පඤ්චදීපිකා තෙරණින් වහන්සේ පෙර බුදු සසුනක කළුවර රැයක බෝධින් වහන්සේට පහන් පහක් පිදූ පිනෙන් අසූ වාරයක් දෙව්ලොවට අධිපති සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන්නා ය. දහස් ගණන් සක්විති රජ දරුවන්ට අග මෙහෙසිය වුණා ය. අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් දැකීමටද ඒ පින උපනිශ‍්‍රය වී ඇත.

සත්පුරුෂයිනි, ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නොවිසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව ද මහත් ඵල ආනිශංස ගෙන දේ.

(9 වන ථේරී අපදානය)

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!

#PathtoNirvana

ලෝකයේ ස්‌වභාවය

"ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ධර්මයේ ස්‌වභාවයට එන්න. ඔබ තෙරුවන් සරණ ගිය උපාසක, උපාසිකාවක්‌ වෙන්න. කර්මය කර්මඵල විශ්වාසයෙන් ජීවිතය දකින්න. එවිට ඔබට පුළුවන් සිංහල, දෙමළ, මුස්‌ලිම්, බෞද්ධ, ක්‍රිස්‌තියානි සෑම මව්කුසක්‌ම දුක බව දකින්න. ලෝකය අනතුරුදායකයි. බොහෝම පරෙස්‌සමෙන් පරිහරණය කරන්න. ලෝකය යනු පංචඋපාදානස්‌කන්ධයම බව දකින්න. මේ මොහොතේ ජාතිය සිංහල, ආගම බුද්ධාගම සහිත උප්පැන්න සහතික හිමි ඔබ එහි අර්ථයන් නොගැලපෙන ආකාරයට දෘෂ්ඨිගත වුවහොත් ඔබ මියගොස්‌ හරියටම මාස 9 කට පසු ජාතිය ආගම හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි යෑයි සඳහන් උප්පැන්න සහතිකයක හිමිකරුවෙක්‌ වීමට ඔබට හැකිය. මේ සියල්ල සංස්‌කාරයන්ගේ හේතුඵල ධර්මයන්ය. කොතැනකවත් වරදක්‌ නොමැත. ඔබට වැරදුණිද ධර්මයට වරදින්නේ නැත. ධර්මයට බෞද්ධ, ක්‍රිස්‌තියානි, හින්දු, මුස්‌ලිම් භේදයක්‌ නොමැත. සංස්‌කාරයන්ගේ ස්‌වභාවය මත තීන්දුව ලබාදීම ධර්මයේ අර්ථයයි. එහෙත් මේ උතුම් මොහොතේ පිංවත් බෞද්ධ ඔබට අන් සියල්ලන්ටම වඩා ආශ්චර්යමත් භාග්‍යයක්‌ ඇත. ඒ සම්මා සම්බුද්ධ ඥාණයෙන් තුන් ලෝකය අවබෝධකොට වදාල උතුම් ශාස්‌තෘන්වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ උරුමය ලැබීමයි.

මුළු ලෝකයම එක ගොඩකට දමා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගොඩට විත් ලෝකය දකින්න.

බුද්ධිමත්ව සිතා බැලීමට කාලයයි මේ.

බුද්ධිමත්ව සිතා බැලීමට කාලයයි මේ.
ලෝකයේ වාසය කරන සියලු දෙනා ලෝකය අනුවම සිතති, කියති, කරති. ජාති කුල මල ආගම් භේද ද, රැකීරක්ෂා මිලමුදල් ආදිය ද කරපින්නා ගෙන නැවත උපතක් සකස් කර දෙන සංස්කාරම රැස් කරති.

තම තමන්ගේ අවිද්‍යාවේ මට්ටමට ම තමන්ගේ ලෝකය සකස්වන බව දකින්න, පහත ධර්ම දේශනාවට සවන් දෙන්න. https://youtu.be/gdjlYLTOn_k

දරුවන්ව දහමට යොමු කරන්න

අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ තම කුඩා නැවෙන් එතෙරකර සසර සයුර තරණය කළ තොටියා



මීට කල්ප එක්දහස් අටසීයකට පෙර අතීතයේ අත්ථදස්සීී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. ලෝ සතුන් සසර දුකින් එතෙර කරවීමේ මහා කාරුණික අදහසින් යුතු අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ ඒ දිනවල ගම් නියම්ගම් සිසාරා ධර්මය දේශනා කරමින් පා ගමනින් වැඩම කළා. ඒ දිනවල ඇති වූ ධාරානිපාත වරුසාව හේතු කරගෙන ගංඟා ඇළදොළ මුවවිට තෙක් පිරී ගියා. බුදුරජාණන් වහන්සේ ද ශ්‍රාවක සඟ පිරිස පිරිවරාගෙන එක්තරා සුවිශාල ගංගාවක් සමීපයට වැඩම කළා. දෙපා ඇත්තන්ට අග්‍ර වූ නරශ්‍රේෂ්ඨ වූ රනින් කළ පිළිරුවක් බඳු සොඳුරු දේහ විලාස ඇත්තා වූ අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ, ශ්‍රාවක පිරිසද පිරිවරාගෙන සංසිඳී ගිය ගමනින් වඩිනා අයුරු ඒ ගංතෙර සිටි තොටියාට දැක ගන්නට ලැබුණා. ඒ දර්ශනය තොටියාගේ සිත තුළ පී‍්‍රතියක් ඇති කළා.

ගංතෙරට සමීප වූ භාග්‍යවතුන් වහන්සේ වැඳ නමස්කාර කොට ඔහු මෙසේ පැවසුවා. ‘සොඳුරු දැක්මක් ඇති පින්වත් ශ්‍රමණයාණන් වහන්ස, ගංඟාව මේ දිනවල සැඩ දියෙන් පිරී පවතී. මුවවිට තෙක් පිරී ගිය ගංදිය කපුටෙකුට වුවද ඉවුරේ සිට බීමට හැකිය. මාගේ මේ කුඩා නැව මතට වැඩම කළ මැනව. මම ඔබ වහන්සේවත් මේ ශ්‍රාවක පිරිසත් පහසුවෙන් එතෙරට ගෙන යාමට කැමැත්තෙමි’ තොටියාගේ ආරාධනය නිහඬවම පිළිගත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සඟ පිරිසද සමඟ නැවට ගොඩ වී වදාළා. එදින විශාල සතුටකින් තොටියා ඒ විශාල ගංගාවේ මෙතෙර සිට එතෙරට බුදුරජාණන් වහන්සේත් ශ්‍රාවක මහා සංඝරත්නයත් වැඩම කරවූවා. එතෙරට පැමිණි ඔහුට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන්පිදීමේ කැමැත්තක් ද ඇතිවුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කොට දානයටද ආරාධනා කළා. ඒ ඇරයුමද නිහඬව පිළිගත් අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ පසු දිනයේ තොටියාගේ නිවසේ දානය පිණිස මහත් වූ සඟ පිරිසක්ද සමඟින් වැඩම කොට වදාළා. එදින මහා දානය පවත්වා හටගත් පී‍්‍රති සොම්නස් ඇති මේ පින්වන්ත තොටියා බුද්ධ පුම්‍රඛ මහා සංඝරත්නය නො පෙනී යන තෙක්ම පසුගමන් කළා.

ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා..!!!






ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා..!!!

මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්ස…., ඔබ වහන්සේ පභාසකර වන සේක. ඕභාසකර වන සේක. ආලෝකකර වන සේක. සුගත වන සේක. සුදෝසුදු නිකෙලෙස් සිත් ඇති සේක.

භාග්‍යවතුන් වහන්ස… එදා මුඹ වහන්සේ, උරුවෙල් දනව්වෙහි දී තුන්දහස් පන්සියයක් පමණ වූ විශ්මිත ප්‍රාතිහාර්යයන් ගෙන් උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප නදී කාශ්‍යප ඇතුළු ජටිලයින් දහසක්, දහම තුළ දමනය කළ සේක. අනතුරුව ආදිත්ත පරියාය නම් වූ උතුම් දම් දෙසුමෙන් නිකෙළෙස් භාවයට පත් කොට වදාළ ඒ මහරහතුන් දහස පිරිවරා, ගයාශීර්ෂයෙන් නික්මී රජගහනුවර බලා පිටත්ව වැඩි සේක. රජගහනුවර තාලවනයේ පිහිටි සුප්පතිට්ඨ චෛත්‍යස්ථානයේ දී බිම්සර රජු ප්‍රමුඛ එක්ලක්ෂ විසි දහසක මහා ජනකායකට සිව් සස් දම් දෙසා මග ඵල සැපත සළසා දී, තරුකිනිති පිරිවැරූ පුන් සඳමෙන්, දඹ රන්පැහැයෙන් බබළමින්, මුඹ වහන්සේ රජගහනුවර පිවිසෙන විට, මානවක වෙස් ගත් දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු මේ ගාථාවන් කියමින්, භාග්‍යවතුන් වහන්ස…මුඹ වහන්සේට පෙර ගමන් කළේ ය..

———————
දන්තෝ දන්තේහි සහ පුරාණජටිලේහි විප්පමුත්තෝ විප්පමුත්තේහි,
සිංගීනික්ඛසවණ්ණෝ රාජගහං පාවිසි භගවා..

දමනය වුණු, කෙළෙසුන් ගෙන් මිදුනු ඒ භාග්‍යවතුන් වහන්සේ, දමනය වුණු කෙලෙසුන් ගෙන් මිදුනු පුරාණ ජටිල වූ රහතුන් වහන්සේලා සමඟ, දඹරන් පැහැයෙන් බැබළෙමින් රජගහ නුවරට පිවිසි සේක..

සන්තෝ සන්තේහි සහ පුරාණජටිලේහි විප්පමුත්තෝ විප්පමුත්තේහි
සිංගීනික්ඛසවණ්ණෝ රාජගහං පාවිසි භගවා..

සංසිදී ගිය සිත් ඇති, කෙළෙසුන් ගෙන් මිදුණු ඒ භාග්‍යවතුන් වහන්සේ, සංසිදී ගිය සිත් ඇති, කෙළෙසුන් ගෙන් මිදුනු පුරාණ ජටිල වූ රහතුන් වහන්සේලා සමඟ, දඹරන් පැහැයෙන් බැබළෙමින් රජගහ නුවරට පිවිසි සේක..

මුත්තෝ මුත්තේහි සහ පුරාණජටිලේසි විප්පමුත්තෝ විප්පමුත්තේහි
සිංගීනික්ඛසවණ්ණෝ රාජගහං පාවිසි භගවා..

සසරින් මිදුණු, කෙළෙසුන් ගෙන් නිදහස් වුණු ඒ භාග්‍යවතුන් වහන්සේ, සසරින් මිදුණු, කෙළෙසුන් ගෙන් නිදහස් වුණු පුරාණ ජටිල වූ රහතුන් වහන්සේලා සමඟ, දඹරන් පැහැයෙන් බැබළෙමින් රජගහ නුවරට පිවිසි සේක..

තිණ්ණෝ තිණ්ණේහි සහ පුරාණජටිලේහි විප්පමුත්තෝ විප්පමුත්තේහි
සිංගීනික්ඛසවණ්ණෝ රාජගහං පාවිසි භගවා..

සසර සැඩ පහර තරණය කළ, කෙලෙසුන් ගෙන් නිදහස් වුණු ඒ භාග්‍යවතුන් වහන්සේ, සසර සැඩ පහර තරණය කළ, කෙලෙසුන් ගෙන් නිදහස් වුණු පුරාණ ජටිල වූ රහතුන් වහන්සේලා සමඟ, දඹරන් පැහැයෙන් බැබළෙමින් රජගහ නුවරට පිවිසි සේක..

 






දසවාසෝ දසබලෝ දසධම්මවිදූ දසහි චුපේතෝ
සෝ දසසතපරිවාරෝ රාජගහං පාවිසි භගවා..

දසවැදෑරුම් වූ ආර්යවාස ඇති දසවැදෑරුම් වූ කායබල-ඤාණබල ඇති, දසවැදෑරුම් කර්මපථ දන්නා වූ, දස අසේඛ අංගයන්ගෙන් යුතු වූ, දහසක් රහතුන් පිරිවරාගත් ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට පිවිසි සේක..

———

මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්ස….

එසේ ඒ සුන්දර ගාථා ගයන සක්දෙවිඳු දුටු රජගහ නුවර වැසියෝ මෙසේ කීවෝ ය.

“ ඇත්තෙන් ම මේ තරුණයා අභිරූපී යි.. ඇත්තෙන් ම මේ තරුණයා ඉතා සුන්දර යි. ඇත්තෙන් ම මේ තරුණයා පැහැදීම ඇති කරවන සුලුයි. මේ මානවකයා කාගේ කෙනෙක් ද..?“

ස්වාමීනී සුගත වූ ශාස්තෘන් වහන්ස.., ඒ අවස්ථාවේ දෙවියන් ගෙන් පවා වැඳුම් ලබන දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳු ඒ මිනිසුන්ට පිළිතුරු දුන්නේ මෙසේ ය.

=========
යෝ ධීරෝ සබ්බධි දන්තෝ සුද්ධෝ අප්පටිපුග්ගලෝ
අරහං සුගතෝ ලෝකෙ තස්සාහං පරිචාරකෝ..

යම් ධීරයන් වහන්සේ නමක් සියලු ආකාරයෙන් දමනය වූ සේක් ද, පාරිශුද්ධ වූ සේක් ද, උන්වහන්සේට සම වූවෙක් නම් නැත. අරහත් වූ, ලෝකයෙහි සුගත වූ, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ මෙහෙකරුවා වෙමි මම්..!!!

==========

අකම්පිත සිත් ඇති, නිර්මල ජීවිත ඇති මාගේ ශාස්තෘන් වහන්ස, මුඹ වහන්සේ මාගේ ද ස්වාමී වන සේක. මම ඔබ වහන්සේ ගේ මෙහෙකරුවා වෙමි..!!!
දෙවනුව ද, මාගේ ශාස්තෘන් වහන්ස, මුඹ වහන්සේ මාගේ ස්වාමී වන සේක. මම ඔබ වහන්සේ ගේ මෙහෙකරුවා වෙමි..!!!
තෙවනුව ද, මාගේ ශාස්තෘන් වහන්ස, මුඹ වහන්සේ මාගේ ස්වාමී වන සේක. මම ඔබ වහන්සේ ගේ මෙහෙකරුවා වෙමි..!!!

—දෙව් බඹුන් ගෙන් වැදුම් ලද, තිලොව මිණි කිරුළ වූ, අනන්ත ගුණ ඇති ඒ මාගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුව ද දෙවනුව ද තෙවනුව ද සිරසින් නමස්කාර වේවා..!!!

—සාදු සාදු සාදු!!!

Tuesday, May 6, 2014

මහා රහතුන් වැඩි මඟ ඔස්සේ


සම්මා සම්බුද්ධ ශාසනයක 'ශුෂ්ක විදර්ශක' කියලා රහතන්වහන්සේලා වැඩසිටිනවා. අතීතයේ වැඩසිටියාවූ චක්‌කුපාල මහරහතන් වහන්සේ එවැනි ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්‌. සම්මා සම්බුද්ධ ශාසනයක අවසාන කාලවකවානුවලදී චතුරාර්යසත්‍යය අවබෝධය කරන රහතන්වහන්සේලා මෙවැනි ශුෂ්ක විදර්ශක ගණයට වැටීම ස්‌වභාවයක්‌. මෙවැනි අයට බුදුරජාණන්වහන්සේගේ, මහරහතන්වහන්සේලාගේ ඇසුර, දර්ශනය ලැබීමක්‌ නැහැ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ යනු මුලින්ම තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණ, ආර්යඅෂ්ඨාංගික මාර්ගය, සිය මාර්ගය කරගනිමින්, ලෝකය කෙරෙහි, නාමරූපධර්මයන් කෙරෙහි දැඩි කලකිරීම් සකස්‌ කරගෙන තම ජීවිත අත්දැකීම් තුළින්ම, ස්‌වෝත්සාහයෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් නිවීමේ මාර්ගයේ සිටින කෙනෙක්‌. ලෝකය කෙරෙහි ඔහුගේ කලකිරීම කොතරම්ද කියනවානම් මොහු ජීවිතය අතහරිනවා චතුරාර්යසත්‍යය අවබෝධය උදෙසා. මොහුගේ අරමුණ ඉලක්‌කය නිවීම, අවබෝධය පමණක්‌මයි. ජීවිතය කෙරෙහි ඇල්මක්‌ නැහැ. ධර්මය කෙරෙහි විශ්වාසය තියුණුයි. මොහු අවංකවම සූදානම් ජීවිතය මරණයට දමා, මැරෙන මොහොතේ හෝ ලබන අවබෝධය තුළ ලෝකයෙන් නිවීයන්න. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව නිසාම මොහු තුළ මේ විශ්වාසය සකස්‌වෙලයි තියෙන්නේ. එයත් ධර්මතාවයක්‌. ජීවිතයට ආශාවකුත් නැහැ. මරණයට කැමත්තකුත් නැහැ. ජීවිතයත් මරණයත් දෙකම අතහැරුණු තැන නිවීම කියන අවබෝධය සකස්‌ වෙනවාය කියන දැඩි විශ්වාසය තිබෙනවා. ජීවිතය අතහැරල තිබෙන්නේ මරණයට. ජීවිතය බැසගෙන තිබෙන්නේ මරණයට. නිවීමේ අරමුණ එතරම් ප්‍රබලයි. ශුෂ්ක විදර්ශකට අවසාන මොහොතේදී මරණය පෙනෙනවා. නමුත් අබමල් රේණුවක තරම්වත් මරණයට බියක්‌ නැහැ. මෙතැනදි ද්වන්ධ සටනක්‌ පවතින්නේ ලෝකය සහ අවබෝධය අතර. ඒ කියන්නේ මාරයා සහ නිවීම අතර. මාරයා ලෝකය දෙසට අදිනවා. ශුෂ්ක විදර්ශක, නිවීම දෙසට හඹාගෙන යනවා. මේ නිහඬ ද්වන්ධ සටනින් මරණය අතහැරී ඔහු අවබෝධය සාක්‍ෂාත් කරගන්නවා. චක්‌කුපාල මහරහතන්වහන්සේ තමාගේ දෑස්‌ දෙක අන්ධවෙන බව හොඳටම දැන දැන නිවීම උදෙසා දෑස්‌ දෙකම අතහරිනවා. වීර්ය සකස්‌ වෙනවා. අධිෂ්ඨාණය තීව්‍රරකරමින් .... නාමරූප ධර්ම විනිවිද දකිමිනුයි මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නිවන් අවබෝධය උදෙසා ජීවිතය අතහැරියත්, මරණය පෙනි පෙනී නිවීම දෙසටම යනවා. අවසන් මොහොතේ උන්වහන්සේ තුළ පුද්ගල සංඥාව හීනමවෙලා සියුම් නූල්පටක්‌ වන් දෙයකිනුයි ලෝකයට බැඳිලා තිබෙන්නේ. ඒ මෝහය නැමති නූල්පටින්.... උන්වහන්සේ තුළ මෝදුවූ ඡන්දය, වීර්යය, චිත්තය විනිවිද දැකීම නිසාම චතුරාර්යසත්‍ය අවබෝධය සාක්‍ෂාත් කරගන්නවා. ඒ අවබෝධය ලබන මොහොතේම ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ බලාපොරොත්තු රහිතවම නැවත ජීවිතයට ගොඩවෙනවා. අවබෝධයයි ජීවිතයයි දෙකම ලැබිලා.



අජිත ස්වාමින් වහන්සේ පියුමතුරා බුදු රජුන්ට එක් මිතෙල් පහනක් පි¥ පිනින් කල්ප හැටදාහක් දෙව්ලොව සැප විඳ දහස් වතාවක් සක්විති රජව උපන්නේ ය. සතිස් වතාවක් සක් දෙව් වුණා. වාර සත් සියයක් ප‍්‍රදේශ රජ වුණා. අවසානයේ නිවන් දැකීමට ද ඒ කුසලය ම උපනිශ‍්‍රය වූ බව දැක්වේ.

සත්පුරුෂයිනි, ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නොවිසිරුන සිතින් කරන පුංචි දෙයක් වුව ද මහත් ඵල ආනිශංස ගෙන දේ.

(අපදාන පාලි: 400 වන අපදානය)

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!