Monday, September 14, 2015

අග්ගික්ඛන්ධොපම සූත්‍රය


අග්ගික්ඛන්ධොපම සූත්‍රය -> http://pitaka.lk/32168/cs,aps
.
“තං කිං මඤ්ඤථ භික්ඛවේ කතමං හු ඛො වරං, යං අමුං මහත්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභුතං ආලිංගිත්වා උපතිසීදෙය්‍ය වා උපනිපජ්ජෙය්‍යවා යංවා ඛත්තිය කඤ්ඤංචා බ්‍රාහ්මණ කඤ්ඤංචා ගහපති කඤ්ඤංචා මුදුතලුණ හත්ථපාදිං ආලිංගිත්වා උපනිසී දෙය්‍යවා උපනිපජ්ජේය්‍යවාති.”
මිහිඳු මහරහතන්වහනසේ ලක්දිවදී දෙවනපෑතිස්ස රජ දරුවන්ට දේශනා කර වදාළ අග්කික්ඛන්ධොපම සූත්‍රය බුදුරදුන් දේශනා කරන ලද සූත්‍ර දේශනාවකි. මෙය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වග්ගයේ ඇතුළත්වේ.
ගිනි කන්ද උපමා කරගත් බැවින් අග්ගික්ඛන්ධෝපම යනුවෙන් හඳුන්වනු ලැබේ. දේවානම් පියතිස්ස රජු අරාධනා කිරීමට අනුව අනුරාධපුර මහමෙව්නා උයනේ ඉදිකළ තිස්සරාමය සඟසතු කළ පූජා උළෙලේදී අනුබුදු මිහිඳු මහරහතුන් විසින් රජ දරුවන් ප්‍රමුඛ දස දහසක් සේනාව අමතා මෙම සූත්‍රය දේශනා කරන ලදී.
ගෞතම බුදුරජාණන්වහන්සේ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන දිනක් කෝසල ජනපදයේ චාරිකාවක නිරත වූ සේක. මහා මාර්ගයේ මෙසේ වඩනා අතරතුර පෙදෙසෙක මහා ගිනිගොඩක් ඇවිලෙනු දැක මැනවින් ඇවිලෙන ගින්න කෙරෙහි භික්ෂුන්ගේ අවධානය යොමුකළහ.
මෙම ගිනිගොඩ බුදුරදුන් උපමා කරගෙන, එම ස්වභාවික සංසිද්ධිය සිය ධර්ම ප්‍රචාරයට ධර්මාවබෝධයට යොමුකරගත් කදිම අවස්ථාවක් එමගින් නිරූපණය වේ. මහත්සේ දිළිසෙන, මැනවින් ඇවිලෙන එම ගිනි කන්දට පැන එය වැළඳගෙන ඉන් අත්පා ඇඟ, ශරීර අවයව පුළුස්සා ගැනීම වැදගත් වේද? ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ හෝ ගෘහපති කන්‍යාවක සිප වැළඳගෙන මෘදු සියුමැලි අත් පා ස්පර්ශ කරමින් එවැනි කන්‍යාවක සිප වැළඳගැනීම වැදගත් වේද?
ඉහත සඳහන් ප්‍රශ්න දෙක බුදුරදුන් යොමුකළේ සිය භික්‍ෂු පිරිස වෙතය.
එවැනි අඟ පසඟවලින් යුතු ස්ත්‍රියක සිප වැළඳ ගැනීම උතුම් වේ. වැදගත්වේ යයි භික්‍ෂුහු පිළිතුරු දුන්හ.
මෙම සූත්‍රය තුළ පුද්ගල මනස භාව සංසිද්ධීන් හා ගැටෙන ආකාරය මැනවින් හෙළිකරන මනෝවිග්‍රහයක් ලෙස පෙනේ. ගිනිගොඩකට පැනීමට වඩා ස්ත්‍රියක් වෙත ලංවීම සතුටක් ලෙස දකින්නේ එම මනෝභාවයන් නිසාය.
කිසිවෙකුත් අපේක්‍ෂා නොකළ විදිහේ පිළිතුරක් මෙහිදී බුදුරදුන් වදාරති. ශිලාදී ගුණ දහම් පුරන්නකු හෝ එවැනි සීල සමාචාරයකට පිළිපත් අයෙකු රාගාදී සිතුවිලි උපදවා ගනියි ද? එබඳු රාගාධී සිතුවිලි මුල් කරගෙන ක්‍ෂත්‍රිය කන්‍යාවක හෝ බ්‍රාහ්මණ කන්‍යාවක හෝ සිපවැලඳ ගනියිද? එය දීර්ඝ කාලයක් අයහපත පිණිස පවතින්නේය. ( දීඝ රත්තං අහිතාය දුක්ඛාය හොති.)
එම යථෝක්ත ක්‍රියාවට වඩා වටින්නේ ගිනිගෙන දිළිසෙන මහ ගිනිකන්දකට පැනීමය. ගිනිකන්දට පනින පුද්ගලයා පිළිස්සී වේදනා විඳ, මරණයට පත්වුනොත් එය එකම දුකකි. වේදනාවකි. එය ඒ මොහොතට පමණක්්වේදනා ගෙනදෙයි. එහෙත් කන්‍යාවක සිප වැළඳගෙන දුසිල් අයෙකු වීම දීර්ඝ කාලයකට සසරදුක් ඇති කිරීමට හේතු වන්නේය.
දීර්ඝ කාලයක් සසරේ දුක්විඳීම ද? කෙටි කාලයක් ගිනි ගොඩක පිළිස්සීම ද වැදගත් වන්නේ, සසර දුක නිවීමට දම් දෙසනා බුදුරදුන් තාවකාලික දුක්ඛ වේදනා ඉවසා, දීර්ඝ කාලීන දුක් වේදනා දුරු කිරීමට උපදෙස් දෙති.
අග්ගික්ඛන්ධෝපම සූත්‍රය පුරා විවිධ උපමා උපමේය මගින් සිල්වත්කම රැකගැනීමටත්, දුශ්ශීල බව පහ කිරීමටත් දම්දෙසන ආකාරය ඉතා වැදගත්වේ.
බලවත් පුරුෂයෙකු තියුණු ආයුධයකින් සිය පපුවට ඇනගැනීම බලවත් පුරුෂයෙකු ගිනි ගොඩක බහාලු මැනවින් රත්කළ යකඩ පටියක් ශරීරයේ වෙලීම සැපතක් වන්නේ ඒ නිසාම අනුමත කළ, චීවර පිණ්ඩපාත ආදිය පරිභෝග කරන්නේ නම් ඉමහත් සසර බන්ධනයක් වන්නේය.
ගිනිගෙන රත්වූ රන්වන් පාටින් බබළන දිළිසෙන යකඩ පටියක් මුව තුළට ඇතුල් කරගැනීම, දිළිසෙන යකඩ බටයක් උඩට නැග වාඩිවී සිටීම යන කරුණු උපයෝගී කරගෙන බුදුරදුන් මෙම සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත කරුණු වේ. උලකින්, ගිනිගොඩකින් සිදුවන වේදනා තාවකාලික එකකි. තමන්ට අවශ්‍ය විටක අවබෝධකරගත් ඒ දහම ධර්මය මැනවින් රැකීමෙන් විපුල ඵල ලබාගත හැකි බව එම සූත්‍රය පෙන්වා දෙයි. සිල්වත්කම වසං කොට දුශ්ශීලයෙකුවීම අපාගත වන පාප කර්මයක් බව බුදුරජාණන්වහන්සේ වදාරති.
අපේ නිත්‍ය ශීලය ආර්යකාන්ත වූ පංච සීලයයි. පෝදා උවසැ-උවැසියෝ අටසිල් සමාදන් වෙති. සිල් සමාදන් වූ පසු රාජ කථා චෝර කථා අද (රජුන් සොරුන්) පිළිබඳ දෙතිස් කථාවලින් වැළකිය යුතුය. කාය වාචා මනසා යන ත්‍රිවිධ දොරටු සුචරිතයට සමීප කරගත යුතුය.
.
මාදෝවිට වජිරබුද්ධි හිමි
හෝමාගම පුරාණ විහාරාධිකාරී,
පන්නිපිටිය විද්‍යාලංකාර නියෝජ්‍ය පරිවේනාධිපති

Thursday, September 10, 2015

චෛත්‍ය පිරිසිදු කිරිඉමේ ආනිසංස

උතුම් ස්ථානයක අපිරිසිදු කටුක දේවල් ඉවත් කිරීමෙන් කළ කර්මය, එහි විපාකය වශයෙන් අපිරිසිදු කටුක දේවල් ඉවත් කිරීමත්, පිරිසිදු භාවයත් ගෙන දෙනවා.
බලන්න කර්මය හා විපාකය කොතරම් සහේතුක ධර්මතාවයන් ද කියලා...
අපිත් කුසල කර්මයන්ම කරනවා කියලා තදින් සිතට ගනිමු


මහක සූත්‍රය

මහක සූත්‍රය -> http://pitaka.lk/24164/cs,aps

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු අම්බාටක වනයෙහිවූ මච්ඡිකාසණ්ඩ නම් වනලැහැබෙහි වාසය කෙරෙත්. එකල්හි චිත්ත ගෘහපති තෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් වැඳ එක්පසෙක උන්නේය. එකත් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ට, “ස්වාමීනි, තෙරුන් වහන්සේලා සෙට දවස පිණිස මාගේ ගව කුලයෙහි බත ඉවසත්වායි” ආරාධනා කළේය, ස්ථවිර භික්ෂූහු තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගිට, ස්ථවිර භික්ෂූන් වැඳ ගෞරවකොට ගියේය.
ඉක්බිති ස්ථවිර භික්ෂූහු ඒ රාත්‍රියගේ ඇවෑමෙන් උදය වරුයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන චිත්ත ගෘහපතිහුගේ ගව කුලය යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ පණවන ලද අස්නෙහි වැඩහුන්නාහුය. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන් ප්‍රණීතවූ ගිතෙල් සහිත කිරිබතින් සියතින් වැළඳවිය. ඇතැයි ප්‍රතික්ෂේප කරවීය. ඉක්බිති වළඳා පාත්‍රයෙන් බැහැර කරනලද අත් ඇති ස්ථවිර භික්ෂූහු හුන් අස්නෙන් නැගිට ගියාහුය. චිත්ත ගෘහපතිතෙමේද, කිරිබත් අනුභව කරමින් සිට ඉතිරිය ඉවත් කරවයි කියා ස්ථවිර භික්ෂූන් පිටුපසින් ගියේය. එකල්හි ශරීරය දැවෙන තරම් උෂ්ණය ඉතා අධිකය, ඒ යහපත් ආහාර වැළඳූ ස්ථවිර භික්ෂූහු හැකිලෙමින් යත්.
එකල්හි වනාහි ආයුෂ්මත් මහක ස්ථවිරතෙම ඒ භික්ෂු සංඝයා අතර සියල්ලන්ට බාලවූයේවේ. එකල්හි ආයුෂ්මත් මහක ස්ථවිරතෙම ආයුෂ්මත් ප්‍රධාන ස්ථවිරයන්ට, “ස්වාමීනි, ස්ථවිරයන් වහන්ස, යම් සීත වාතයක් හමුවන්නේ නම් වළාකුල් නගින්නේ නම් වැහි පොද එක දෙක වැටෙන්නේ නම් හොඳනේදැයි” කීය.
“ඇවැත්නි, මහක සීත වාතයක් හමන්නේනම් වළාකුල් නගින්නේ නම් වැහිපොද එක දෙක වැටෙන්නේ නම් හොඳයයි කීය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවීරතෙමේ යම් සේ සිහිල් වාතය හමන්නේද, වලාකුල් නගින්නේද වැහි පොද එක දෙක වැටෙන්නේද, එවැනි සෘද්ධියක් දැක්වීය.
ඉක්බිති චිත්ත ගෘහපතිහට මේ භික්ෂු සංඝයා අතර යම් මේ සියල්ලන්ට බාලවූ භික්ෂුවක් ඇද්ද ඔහුගේ ඍද්ධි ආනුභාවය මෙබඳුයයි සිත්විය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම ආරාමයට පැමිණ ආයුෂ්මත් ප්‍රධාන ස්ථවිරයන්ට ස්වාමීනි, ස්ථවිරයෙනි, මෙපමණක් ප්‍රමාණදැයි” කීය. “ඇවැත් මහකය, මෙපමණක් ප්‍රමාණය. ඇවැත් මහකය, මෙපමණකින් කරනලදී. ඇවැත් මහකය, මෙපමණකින් පුදනලදීය”යි කියනලදී. ඉක්බිති ස්ථවිර භික්ෂූහු යම් සේ විහාරයන් කරා වැඩියාහුය. ආයුෂ්මත් මහකය තමාගේ වෙහෙරට ගියේය.
ඉක්බිති චිත්ත ගෘහපතිතෙම, ආයුෂ්මත් මහක ස්ථවිරයන් වෙත පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහක ස්ථවිරයන් වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් මහක ස්ථවිරයන්ට “ස්වාමීනි ආර්ය මහකයන්වහන්ස, මට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උතුම් ඍද්ධිප්‍රාතිහාර්යයක් දක්වන්නේ නම් යහපතැයි” කීයේය.
“ගෘහපතිය, ඔබ එසේ වීනම් පිළෙහි උතුරු සළුව අතුරා තණ මිටියක් විසුරුවයයි කීය. “ස්වාමීනි, එසේයයි” කියා චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් මහක ස්ථවිරයන්ගේ වචනය පිළිගෙන පිළෙහි උතුරුසළුව දමා ඊපිට තණ මිටියක් විසුරුවේය.
ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම විහාරයට ප්‍රවිෂ්ටව යතුරු අගුල දමා යම්සේ යතුරු කපල්ලෙන්ද අගුල අතරින්ද ගිනි දැල් නික්ම තෘණ දැවෙන්නේද, උතුරුසළුව නොදැවෙන්නේද, එබඳු ඍද්ධියක් පෑයේය. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම උතුරුසළුව ගසා දමා සංවේගයෙන් ලොමු ඩැහැගත්තෙක්ව එක් පසෙක සිටියේය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම විහාරයෙන් නික්ම ‘ගෘහපතිය මෙපමණක් සෑහේදැයි” කීයේය.
“ස්වාමීනි, මහක ස්ථවිරයන්වහන්ස, මෙපමණක් සෑහෙයි ස්වාමීනි මහක ස්ථවිරයන් වහන්ස, මෙපමණකින් කරන ලද්දේ වෙයි. මෙපමණකින් පුදන ලද්දේවෙයි. ස්වාමීනි, මහක ස්ථවිරයෙනි, ආර්යයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි විසීමට කැමැති වේවා, අම්බාටක වනය සිත්කලුය. මම ආර්යයන් වහන්සේට චීවර පිණ්ඩපාත සෙනාසන ගිලන්පස බෙහෙත් පිරිකර සැපයීමට උත්සාහ කරන්නෙමි.”
“ගෘහපතිය, යහපතක් කියනු ලැබේයයි” කීය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම සෙනසුන හකුලා පා සිවුරුගෙන මච්ඡිකාසණ්ඩයෙන් ගියේය. යම් හෙයකින් මච්ඡිකාසණ්ඩයෙන් ගියේද, එසේ ගියේම විය. ආපසු නැවත නොආයේය.
-------------
සූත්‍ර පිටකය හා එහි සිංහල පරිවර්තනය කියවීම සඳහා පිටක.lk වෙත පිවිසෙන්න.