Monday, September 14, 2015

අග්ගික්ඛන්ධොපම සූත්‍රය


අග්ගික්ඛන්ධොපම සූත්‍රය -> http://pitaka.lk/32168/cs,aps
.
“තං කිං මඤ්ඤථ භික්ඛවේ කතමං හු ඛො වරං, යං අමුං මහත්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභුතං ආලිංගිත්වා උපතිසීදෙය්‍ය වා උපනිපජ්ජෙය්‍යවා යංවා ඛත්තිය කඤ්ඤංචා බ්‍රාහ්මණ කඤ්ඤංචා ගහපති කඤ්ඤංචා මුදුතලුණ හත්ථපාදිං ආලිංගිත්වා උපනිසී දෙය්‍යවා උපනිපජ්ජේය්‍යවාති.”
මිහිඳු මහරහතන්වහනසේ ලක්දිවදී දෙවනපෑතිස්ස රජ දරුවන්ට දේශනා කර වදාළ අග්කික්ඛන්ධොපම සූත්‍රය බුදුරදුන් දේශනා කරන ලද සූත්‍ර දේශනාවකි. මෙය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වග්ගයේ ඇතුළත්වේ.
ගිනි කන්ද උපමා කරගත් බැවින් අග්ගික්ඛන්ධෝපම යනුවෙන් හඳුන්වනු ලැබේ. දේවානම් පියතිස්ස රජු අරාධනා කිරීමට අනුව අනුරාධපුර මහමෙව්නා උයනේ ඉදිකළ තිස්සරාමය සඟසතු කළ පූජා උළෙලේදී අනුබුදු මිහිඳු මහරහතුන් විසින් රජ දරුවන් ප්‍රමුඛ දස දහසක් සේනාව අමතා මෙම සූත්‍රය දේශනා කරන ලදී.
ගෞතම බුදුරජාණන්වහන්සේ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන දිනක් කෝසල ජනපදයේ චාරිකාවක නිරත වූ සේක. මහා මාර්ගයේ මෙසේ වඩනා අතරතුර පෙදෙසෙක මහා ගිනිගොඩක් ඇවිලෙනු දැක මැනවින් ඇවිලෙන ගින්න කෙරෙහි භික්ෂුන්ගේ අවධානය යොමුකළහ.
මෙම ගිනිගොඩ බුදුරදුන් උපමා කරගෙන, එම ස්වභාවික සංසිද්ධිය සිය ධර්ම ප්‍රචාරයට ධර්මාවබෝධයට යොමුකරගත් කදිම අවස්ථාවක් එමගින් නිරූපණය වේ. මහත්සේ දිළිසෙන, මැනවින් ඇවිලෙන එම ගිනි කන්දට පැන එය වැළඳගෙන ඉන් අත්පා ඇඟ, ශරීර අවයව පුළුස්සා ගැනීම වැදගත් වේද? ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ හෝ ගෘහපති කන්‍යාවක සිප වැළඳගෙන මෘදු සියුමැලි අත් පා ස්පර්ශ කරමින් එවැනි කන්‍යාවක සිප වැළඳගැනීම වැදගත් වේද?
ඉහත සඳහන් ප්‍රශ්න දෙක බුදුරදුන් යොමුකළේ සිය භික්‍ෂු පිරිස වෙතය.
එවැනි අඟ පසඟවලින් යුතු ස්ත්‍රියක සිප වැළඳ ගැනීම උතුම් වේ. වැදගත්වේ යයි භික්‍ෂුහු පිළිතුරු දුන්හ.
මෙම සූත්‍රය තුළ පුද්ගල මනස භාව සංසිද්ධීන් හා ගැටෙන ආකාරය මැනවින් හෙළිකරන මනෝවිග්‍රහයක් ලෙස පෙනේ. ගිනිගොඩකට පැනීමට වඩා ස්ත්‍රියක් වෙත ලංවීම සතුටක් ලෙස දකින්නේ එම මනෝභාවයන් නිසාය.
කිසිවෙකුත් අපේක්‍ෂා නොකළ විදිහේ පිළිතුරක් මෙහිදී බුදුරදුන් වදාරති. ශිලාදී ගුණ දහම් පුරන්නකු හෝ එවැනි සීල සමාචාරයකට පිළිපත් අයෙකු රාගාදී සිතුවිලි උපදවා ගනියි ද? එබඳු රාගාධී සිතුවිලි මුල් කරගෙන ක්‍ෂත්‍රිය කන්‍යාවක හෝ බ්‍රාහ්මණ කන්‍යාවක හෝ සිපවැලඳ ගනියිද? එය දීර්ඝ කාලයක් අයහපත පිණිස පවතින්නේය. ( දීඝ රත්තං අහිතාය දුක්ඛාය හොති.)
එම යථෝක්ත ක්‍රියාවට වඩා වටින්නේ ගිනිගෙන දිළිසෙන මහ ගිනිකන්දකට පැනීමය. ගිනිකන්දට පනින පුද්ගලයා පිළිස්සී වේදනා විඳ, මරණයට පත්වුනොත් එය එකම දුකකි. වේදනාවකි. එය ඒ මොහොතට පමණක්්වේදනා ගෙනදෙයි. එහෙත් කන්‍යාවක සිප වැළඳගෙන දුසිල් අයෙකු වීම දීර්ඝ කාලයකට සසරදුක් ඇති කිරීමට හේතු වන්නේය.
දීර්ඝ කාලයක් සසරේ දුක්විඳීම ද? කෙටි කාලයක් ගිනි ගොඩක පිළිස්සීම ද වැදගත් වන්නේ, සසර දුක නිවීමට දම් දෙසනා බුදුරදුන් තාවකාලික දුක්ඛ වේදනා ඉවසා, දීර්ඝ කාලීන දුක් වේදනා දුරු කිරීමට උපදෙස් දෙති.
අග්ගික්ඛන්ධෝපම සූත්‍රය පුරා විවිධ උපමා උපමේය මගින් සිල්වත්කම රැකගැනීමටත්, දුශ්ශීල බව පහ කිරීමටත් දම්දෙසන ආකාරය ඉතා වැදගත්වේ.
බලවත් පුරුෂයෙකු තියුණු ආයුධයකින් සිය පපුවට ඇනගැනීම බලවත් පුරුෂයෙකු ගිනි ගොඩක බහාලු මැනවින් රත්කළ යකඩ පටියක් ශරීරයේ වෙලීම සැපතක් වන්නේ ඒ නිසාම අනුමත කළ, චීවර පිණ්ඩපාත ආදිය පරිභෝග කරන්නේ නම් ඉමහත් සසර බන්ධනයක් වන්නේය.
ගිනිගෙන රත්වූ රන්වන් පාටින් බබළන දිළිසෙන යකඩ පටියක් මුව තුළට ඇතුල් කරගැනීම, දිළිසෙන යකඩ බටයක් උඩට නැග වාඩිවී සිටීම යන කරුණු උපයෝගී කරගෙන බුදුරදුන් මෙම සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත කරුණු වේ. උලකින්, ගිනිගොඩකින් සිදුවන වේදනා තාවකාලික එකකි. තමන්ට අවශ්‍ය විටක අවබෝධකරගත් ඒ දහම ධර්මය මැනවින් රැකීමෙන් විපුල ඵල ලබාගත හැකි බව එම සූත්‍රය පෙන්වා දෙයි. සිල්වත්කම වසං කොට දුශ්ශීලයෙකුවීම අපාගත වන පාප කර්මයක් බව බුදුරජාණන්වහන්සේ වදාරති.
අපේ නිත්‍ය ශීලය ආර්යකාන්ත වූ පංච සීලයයි. පෝදා උවසැ-උවැසියෝ අටසිල් සමාදන් වෙති. සිල් සමාදන් වූ පසු රාජ කථා චෝර කථා අද (රජුන් සොරුන්) පිළිබඳ දෙතිස් කථාවලින් වැළකිය යුතුය. කාය වාචා මනසා යන ත්‍රිවිධ දොරටු සුචරිතයට සමීප කරගත යුතුය.
.
මාදෝවිට වජිරබුද්ධි හිමි
හෝමාගම පුරාණ විහාරාධිකාරී,
පන්නිපිටිය විද්‍යාලංකාර නියෝජ්‍ය පරිවේනාධිපති