Friday, May 9, 2014

ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා..!!!






ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා..!!!

මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්ස…., ඔබ වහන්සේ පභාසකර වන සේක. ඕභාසකර වන සේක. ආලෝකකර වන සේක. සුගත වන සේක. සුදෝසුදු නිකෙලෙස් සිත් ඇති සේක.

භාග්‍යවතුන් වහන්ස… එදා මුඹ වහන්සේ, උරුවෙල් දනව්වෙහි දී තුන්දහස් පන්සියයක් පමණ වූ විශ්මිත ප්‍රාතිහාර්යයන් ගෙන් උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප නදී කාශ්‍යප ඇතුළු ජටිලයින් දහසක්, දහම තුළ දමනය කළ සේක. අනතුරුව ආදිත්ත පරියාය නම් වූ උතුම් දම් දෙසුමෙන් නිකෙළෙස් භාවයට පත් කොට වදාළ ඒ මහරහතුන් දහස පිරිවරා, ගයාශීර්ෂයෙන් නික්මී රජගහනුවර බලා පිටත්ව වැඩි සේක. රජගහනුවර තාලවනයේ පිහිටි සුප්පතිට්ඨ චෛත්‍යස්ථානයේ දී බිම්සර රජු ප්‍රමුඛ එක්ලක්ෂ විසි දහසක මහා ජනකායකට සිව් සස් දම් දෙසා මග ඵල සැපත සළසා දී, තරුකිනිති පිරිවැරූ පුන් සඳමෙන්, දඹ රන්පැහැයෙන් බබළමින්, මුඹ වහන්සේ රජගහනුවර පිවිසෙන විට, මානවක වෙස් ගත් දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු මේ ගාථාවන් කියමින්, භාග්‍යවතුන් වහන්ස…මුඹ වහන්සේට පෙර ගමන් කළේ ය..

———————
දන්තෝ දන්තේහි සහ පුරාණජටිලේහි විප්පමුත්තෝ විප්පමුත්තේහි,
සිංගීනික්ඛසවණ්ණෝ රාජගහං පාවිසි භගවා..

දමනය වුණු, කෙළෙසුන් ගෙන් මිදුනු ඒ භාග්‍යවතුන් වහන්සේ, දමනය වුණු කෙලෙසුන් ගෙන් මිදුනු පුරාණ ජටිල වූ රහතුන් වහන්සේලා සමඟ, දඹරන් පැහැයෙන් බැබළෙමින් රජගහ නුවරට පිවිසි සේක..

සන්තෝ සන්තේහි සහ පුරාණජටිලේහි විප්පමුත්තෝ විප්පමුත්තේහි
සිංගීනික්ඛසවණ්ණෝ රාජගහං පාවිසි භගවා..

සංසිදී ගිය සිත් ඇති, කෙළෙසුන් ගෙන් මිදුණු ඒ භාග්‍යවතුන් වහන්සේ, සංසිදී ගිය සිත් ඇති, කෙළෙසුන් ගෙන් මිදුනු පුරාණ ජටිල වූ රහතුන් වහන්සේලා සමඟ, දඹරන් පැහැයෙන් බැබළෙමින් රජගහ නුවරට පිවිසි සේක..

මුත්තෝ මුත්තේහි සහ පුරාණජටිලේසි විප්පමුත්තෝ විප්පමුත්තේහි
සිංගීනික්ඛසවණ්ණෝ රාජගහං පාවිසි භගවා..

සසරින් මිදුණු, කෙළෙසුන් ගෙන් නිදහස් වුණු ඒ භාග්‍යවතුන් වහන්සේ, සසරින් මිදුණු, කෙළෙසුන් ගෙන් නිදහස් වුණු පුරාණ ජටිල වූ රහතුන් වහන්සේලා සමඟ, දඹරන් පැහැයෙන් බැබළෙමින් රජගහ නුවරට පිවිසි සේක..

තිණ්ණෝ තිණ්ණේහි සහ පුරාණජටිලේහි විප්පමුත්තෝ විප්පමුත්තේහි
සිංගීනික්ඛසවණ්ණෝ රාජගහං පාවිසි භගවා..

සසර සැඩ පහර තරණය කළ, කෙලෙසුන් ගෙන් නිදහස් වුණු ඒ භාග්‍යවතුන් වහන්සේ, සසර සැඩ පහර තරණය කළ, කෙලෙසුන් ගෙන් නිදහස් වුණු පුරාණ ජටිල වූ රහතුන් වහන්සේලා සමඟ, දඹරන් පැහැයෙන් බැබළෙමින් රජගහ නුවරට පිවිසි සේක..

 






දසවාසෝ දසබලෝ දසධම්මවිදූ දසහි චුපේතෝ
සෝ දසසතපරිවාරෝ රාජගහං පාවිසි භගවා..

දසවැදෑරුම් වූ ආර්යවාස ඇති දසවැදෑරුම් වූ කායබල-ඤාණබල ඇති, දසවැදෑරුම් කර්මපථ දන්නා වූ, දස අසේඛ අංගයන්ගෙන් යුතු වූ, දහසක් රහතුන් පිරිවරාගත් ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට පිවිසි සේක..

———

මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්ස….

එසේ ඒ සුන්දර ගාථා ගයන සක්දෙවිඳු දුටු රජගහ නුවර වැසියෝ මෙසේ කීවෝ ය.

“ ඇත්තෙන් ම මේ තරුණයා අභිරූපී යි.. ඇත්තෙන් ම මේ තරුණයා ඉතා සුන්දර යි. ඇත්තෙන් ම මේ තරුණයා පැහැදීම ඇති කරවන සුලුයි. මේ මානවකයා කාගේ කෙනෙක් ද..?“

ස්වාමීනී සුගත වූ ශාස්තෘන් වහන්ස.., ඒ අවස්ථාවේ දෙවියන් ගෙන් පවා වැඳුම් ලබන දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳු ඒ මිනිසුන්ට පිළිතුරු දුන්නේ මෙසේ ය.

=========
යෝ ධීරෝ සබ්බධි දන්තෝ සුද්ධෝ අප්පටිපුග්ගලෝ
අරහං සුගතෝ ලෝකෙ තස්සාහං පරිචාරකෝ..

යම් ධීරයන් වහන්සේ නමක් සියලු ආකාරයෙන් දමනය වූ සේක් ද, පාරිශුද්ධ වූ සේක් ද, උන්වහන්සේට සම වූවෙක් නම් නැත. අරහත් වූ, ලෝකයෙහි සුගත වූ, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ මෙහෙකරුවා වෙමි මම්..!!!

==========

අකම්පිත සිත් ඇති, නිර්මල ජීවිත ඇති මාගේ ශාස්තෘන් වහන්ස, මුඹ වහන්සේ මාගේ ද ස්වාමී වන සේක. මම ඔබ වහන්සේ ගේ මෙහෙකරුවා වෙමි..!!!
දෙවනුව ද, මාගේ ශාස්තෘන් වහන්ස, මුඹ වහන්සේ මාගේ ස්වාමී වන සේක. මම ඔබ වහන්සේ ගේ මෙහෙකරුවා වෙමි..!!!
තෙවනුව ද, මාගේ ශාස්තෘන් වහන්ස, මුඹ වහන්සේ මාගේ ස්වාමී වන සේක. මම ඔබ වහන්සේ ගේ මෙහෙකරුවා වෙමි..!!!

—දෙව් බඹුන් ගෙන් වැදුම් ලද, තිලොව මිණි කිරුළ වූ, අනන්ත ගුණ ඇති ඒ මාගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුව ද දෙවනුව ද තෙවනුව ද සිරසින් නමස්කාර වේවා..!!!

—සාදු සාදු සාදු!!!

1 comment:

  1. මෙහෙම ප්‍රශස්ති ගී ගායනා කර කර හිටියොත් අපට ධර්ම අවබෝධය ලැබෙනවාද ? බුදුන් අපට අප්‍රමාදීව කරන්න කීවේ මේවාද?

    ReplyDelete