Friday, May 9, 2014

ලෝකයේ ස්‌වභාවය

"ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ධර්මයේ ස්‌වභාවයට එන්න. ඔබ තෙරුවන් සරණ ගිය උපාසක, උපාසිකාවක්‌ වෙන්න. කර්මය කර්මඵල විශ්වාසයෙන් ජීවිතය දකින්න. එවිට ඔබට පුළුවන් සිංහල, දෙමළ, මුස්‌ලිම්, බෞද්ධ, ක්‍රිස්‌තියානි සෑම මව්කුසක්‌ම දුක බව දකින්න. ලෝකය අනතුරුදායකයි. බොහෝම පරෙස්‌සමෙන් පරිහරණය කරන්න. ලෝකය යනු පංචඋපාදානස්‌කන්ධයම බව දකින්න. මේ මොහොතේ ජාතිය සිංහල, ආගම බුද්ධාගම සහිත උප්පැන්න සහතික හිමි ඔබ එහි අර්ථයන් නොගැලපෙන ආකාරයට දෘෂ්ඨිගත වුවහොත් ඔබ මියගොස්‌ හරියටම මාස 9 කට පසු ජාතිය ආගම හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි යෑයි සඳහන් උප්පැන්න සහතිකයක හිමිකරුවෙක්‌ වීමට ඔබට හැකිය. මේ සියල්ල සංස්‌කාරයන්ගේ හේතුඵල ධර්මයන්ය. කොතැනකවත් වරදක්‌ නොමැත. ඔබට වැරදුණිද ධර්මයට වරදින්නේ නැත. ධර්මයට බෞද්ධ, ක්‍රිස්‌තියානි, හින්දු, මුස්‌ලිම් භේදයක්‌ නොමැත. සංස්‌කාරයන්ගේ ස්‌වභාවය මත තීන්දුව ලබාදීම ධර්මයේ අර්ථයයි. එහෙත් මේ උතුම් මොහොතේ පිංවත් බෞද්ධ ඔබට අන් සියල්ලන්ටම වඩා ආශ්චර්යමත් භාග්‍යයක්‌ ඇත. ඒ සම්මා සම්බුද්ධ ඥාණයෙන් තුන් ලෝකය අවබෝධකොට වදාල උතුම් ශාස්‌තෘන්වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ උරුමය ලැබීමයි.

මුළු ලෝකයම එක ගොඩකට දමා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගොඩට විත් ලෝකය දකින්න.


ලෝකය විසින් දකින ලෝකය හුඟාක්‌ සංකීර්ණයි. එම ලෝකය තුළ බෞද්ධ, හින්දු, ක්‍රිස්‌තියානි, මුස්‌ලිම්.... පිං, පව්, හොඳ, නරක, සාමය, යුද්ධය..... මේ සියල්ලම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකය මීට වඩා හුඟාක්‌ සරළයි. චතුරාර්ය සත්‍ය ධර්මය ගත්තත්, පටිච්ජසමුප්පාද ධර්මය ගත්තත් අවිද්‍යාව විසින් සංකීර්ණභාවයට පත්කර ඇති ලෝකය බොහෝම සරළ තැනකට ගෙනෙනවා. තෘෂ්ණාව කියන එකම කාරණය නිසා ලෝකය අල්ලාගන්නා ස්‌වභාවයත්, තෘෂ්ණාව කියන එකම කාරණය ප්‍රහානය කිරීමෙන් ලෝකයෙන් මිදෙන ස්‌වභාවයත් බොහෝම අර්ථවත්ව දේශනා කර තිබෙනවා. පිංවත් ඔබ තෘෂ්ණාව කියන කාරණයෙන් මුළු ලෝකයටම බැඳී සිටියත්, එම ලෝකය කියන සංකීර්ණ කාරණය බුදුරජාණන් වහන්සේ ඔබ තුළින්ම සකස්‌වෙන රූප, වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ කියනා කරුණු පහ තුළට ගේනවා. මුළු ලෝකයේම ක්‍රියාකාරීත්වය පංචඋපාදානස්‌කන්ධය තුළට ගේනවා."

සම්පූර්ණ ලිපි මාලාව මෙතනින් --> http://bit.ly/19oqRL3

No comments:

Post a Comment